hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 13, පෙ.ව. 12:04



කොළඹ නෙළුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකර ගත් කොළඹ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලැබූ 16 හැවිරිදි සිසුවියගේ මරණය පිළිබඳ බුද්ධි අංශ මේ වන විට ගැඹුරින් කරුණු අධ්‍යයනය කරමින් සිටී.

කොම්පඤ්ඤවීදියේ පිහිටි ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් පසුගිය ජූලි 02 වැනිදා බිමට පැන සියදිවි හානිකර ගත් සිසුවා සහ සිසුවිය නෙලුම් කුලුනෙන් බිමට පැන සියදිවි හානිකරගත් සිසුවියගේ මිතුරන් වූ අතර අධ්‍යාපනය ලබමින් සිට ඇත්තේ එකම පාසලේය.

නෙළුම් කුලුනින් ඇය බිමට පනින්නේ සිය මිතුරන් දෙදෙනාගේ මරණයෙන් තුන් මසක් ගෙවී යමින් සිටියදී වන අතර මෙම සිදුවීම් දෙකේම ඇති සමානකම් ද බොහෝය.

කොළඹ 03 පදිංචිකාරිනියක වූ සිසුවිය නෙළුම් කුලුනේ නැරඹුම් ස්ථානයෙන් බිමට පැන සියදිවි හානිකරගත්තේ පසුගිය 07 වැනිදාය.

පාසල් නිල ඇඳුමින් පැමිණ සිය පාසල් පොත් බෑගයේ දමාගෙන ආ පාට ඇඳුමකින් සැරසී සපත්තු ජෝඩුවද නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාවේ ගලවා තබා බිමට පැන ඇතැයි පෙනී ගොස් ඇත්තේ සවස 3.30ට පමණය. එදා ඇය කුරුදුවත්තේ පිහිටි පාසලින් පිටතට පැමිණෙන්නේ සවස 2.30න් පසුවය.

කල් තියා කළ සැලසුමක් ද?

ඇය එදා පාසල් එන්නේ සවස් කාලයේ පාසලේ පැවැත්වෙන ගීතිකා පංතියට සහභාගි වන බව මවුපියන්ට පවසමිනි. උදෑසන 7.10ට පමණ සුපුරුදු ලෙස ඇය පාසලට ඇරලවන්නේ පියාය. සවස 2.30ට පමණ ඇයගේ දහවල් ආහාරය ද පියා ගෙනැවිත් ඇති අතර, ආහාර පාර්සලය ලබාගන්නට සිසුවිය පාසලේ ගේට්ටුව අසලට එන්නේද මිතුරියක සමඟය.

ඇය ද ගීතිකා පන්තියට සහභාගි වන සිසුවියකි. එහෙත් ගීතිකා පන්තියට සහභාගි වන බව කී සිසුවිය ආහාර පාර්සලය ගත්තාට පසු වැඩි වේලාවක් පාසල තුළ රැඳුණේ නැත.

ඇය පාසලින් එළියට එන්නේ කල් තියා කළ සැලසුමකට වුවත් එය දැන සිටියේ ඇය පමණි. පාසල් ගේට්ටුවෙන් පිටතට පැමිණි ඇය පා ගමනින් මීටර් දෙතුන් සියයක් ඉදිරියට පැමිණ පසුව කුලී රථයක නැඟී නෙළුම් කුලුන පැත්තට පැමිණ ඇත. ජාත්‍යන්තර පාසල් නිල ඇඳුමින් සිටි ඇය පාසල් බෑගය ද කරේ දමාගෙන ටිකට්පතක් රැගෙන නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුලු වී ඇත්තේ තතිවමය.

එහෙත් ඇය නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාවෙන් මතුවන්නේ පාට ඇඳුමකින් සැරසීගෙනය. ඇය සෝපානයෙන් ඉහළට ගමන් කරන්නේ ද පාට ඇඳුමකිනි. ඒ අනුව පැහැදිලි වන්නේ ඇය නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළු වීමෙන් පසු පාසල් නිල ඇඳුම වෙනුවට පාට ඇඳුමකින් සැරසී ඇති බවය.

ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 මහලින් බිමට පැන සියදිවි හානිකර ගත් සිසුවා සහ සිසුවිය එම තට්ටු නිවාස සංකීර්ණයට ඇතුළු වී තිබුණේ පාසල් නිල ඇඳුමිනි. ඔවුන් පාට ඇඳුම්වලට මාරු වී තිබුණේ 05 වැනි මහලේ කායවර්ධන මධ්‍යස්ථානයට ගොසිනි. ඒ අය ද එදා පාසල් බෑගය තුළ සඟවාගෙන පාට ඇඳුම් ගෙනැවිත් තිබුණේ පෙර සැලසුමකට අනුවය. ඇඳුම් මාරුකර ගත් ඔවුන් දෙදෙනා ගොඩනැඟිල්ලෙන් බිමට පනින්නේ පාසල් බෑග්, ජංගම දුරකතන සහ සපත්තු ද ගලවා තබාය.

කෙසේ වෙතත් ඔවුන්ගේ සියදිවි හානිකර ගැනීම සම්බන්ධයෙන් කෙරෙන්නා වූ පරීක්ෂණ ගැඹුරින් අධ්‍යයනයක් සිදු නොවීය. එදා ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලින් සිසුවියත් සිසුවාත් බිමට වැටෙන්නේ ගොඩනැඟිල්ලෙහි වායු සමීකරණ පද්ධතිය පිහිටි තෙවැනි මහලටය.

ඇල්ටෙයා මහල් නිවාස සංකීර්ණයට වඩා උසින් පිහිටියත් නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාව ඇති කොටස සැලකෙන්නේ එහි 29 වැනි මහල ලෙසිනි. සිසුවිය බිමට පනින්නේ එම මහලින් වන අතර, ඇය ද බිමට වැටෙන්නේ කුලුනේ තෙවැනි මහල ලෙස නම් කර ඇති කොටසටය.

ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන සියදිවි හානිකරගත් මිතුරන් දෙදෙනාගේත් ඇගේත් සියදිවි හානිකර ගැනීමේ අතර සම්බන්ධකම් බොහෝය.

මිතුරන් පැන්න ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දෙස බලා ඉඳලා

විමර්ශනයේදී හෙළිවන තොරතුරුවලට අනුව සිසුවිය නෙළුම් කුලුන පරිශ්‍රයට ඇතුළු වූ මොහොතේ සිට සියදිවි හානිකර ගන්නා අවස්ථාව දක්වා විනාඩි විස්සක පමණ කාලයක් නෙළුම් කුලුන පරීශ්‍රයේ රැඳී සිට ඇත.

29 වැනි මහලේ නැරඹුම් පීඨිකාවට ඇතුළු වීමෙන් අනතුරුව ඇය කෙළින්ම ගමන්කර ඇත්තේ ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය පැහැදිලිවම දිස්වන ප්‍රදේශය වෙතය. එතැන සිට ඇය මඳ වේලාවක් ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දෙස බලා සිට විනාඩියත් දෙකක් ගතකර ඇත්තේ නෙළුම් කුලුනේ පීඨිකාව වටා ගමන් කරමිනි.

වටයක් දෙකක් කැරකැවුණු ඇය ගැට්ටක් මත සිය ගමන් මල්ල තබා මඳ වේලාවක් දිගු කල්පනාවක සිට කුලුනෙන් බිමට පනින්නට අවස්ථා දෙකකදී උත්සාහ දරා ඇති බව සඳහන්ය. පළමු උත්සාහය මග හැරෙන්නේ නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාව වටා ඇති උස් තාප්ප කොටසට නැඟීමට ඇය අපොහොසත් වන බැවිනි.

පළමු අසාර්ථක උත්සාහයෙන් පසු මඳ වේලාවක් නැවත ඇය ගැට්ට මත ඉඳගෙන ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණය දෙස බලා සිට දෙවැනි වරටත් උත්සාහ දරා ඇත. නැරඹුම් පීඨිකාව වටා ඇති බැම්මට උඩින් තවත් ආරක්ෂක කම්බියක් ඇති බැවින් එවරද ඇයට බිමට පැනීම පහසු වී නැත. අවසානයේදී ඇය බිමට පනින්නේ සපත්තු දෙක ගලවා දමාය. ඇය බිමට වැටෙන්නේ එවරය.

ආරක්ෂක කැමරා දර්ශන ද නිරීක්ෂණය කළ පොලිස් විමර්ශනයේදී පෙනී ගොස් ඇත්තේ සිය දහස් ගණනක් දිනකට සැරිසරන නෙළුම් කුලුනේ නැරඹුම් පීඨිකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂක අංශ යම් අවධානයකින් සිටියා නම් ඇගේ ජීවිතය රැක ගැනීමට අවස්ථාවක් තිබූ බවය.

ඇය ඉහළ සිට බිමට වැටී ඇති බව පවා දැන ගන්නේ තෙවැනි මහලේ විවෘත කොටසේ බිම තිබී සිරුර හමුවීමත් සමඟය. මීටර් 250කට වැඩි උසකින් වැටුණු ඇගේ සිරුරේ ඇට බිදී ඒ වන විටත් දැඩි හානියට පත්වී තිබිණි. මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පොලීසිය මැදිහත් වන්නේ නෙළුම් කුලුනේ පරිපාලකයකු කළ පැමිණිල්ලකට අනුවය.

පළමු ඇමතුම පියාගෙන්

ඇය ගැන යම් ඉඟියක් ලැබෙන්නේ 29 මහලේ නැරඹුම් පීඨිකාවේ තිබූ බෑගය හා ජංගම දුරකතනයෙනි. බෑගය තුළ කොළඹ ජාත්‍යන්තර පාසලක වාර විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටලයක් සහිත ගොනුවක් තිබී ඇති අතර, එම ගොනුවේ ඇයගේ නම සඳහන්ව තිබිණි. ඇයගේ ජංගම දුකරථනයට ඇමතුමක් ලැබෙන්නේ පොලීසිය ඇගේ අනන්‍යතාව සොයා ජාත්‍යන්තර පාසලට පවා නිලධාරීන් කණ්ඩායමක් යොමුකර සිටියදීය.

සිසුවියගේ දුරකථනයට ලැබුණු ඇමතුමට පොලිස් නිලධාරියකු පිළිතුරු දුන් අතර, ඇමතුම ලැබී තිබුණේ ඇයගේ පියාගෙනි. එවිට වේලාව සවස 4.55ට පමණ ඇත. සිය දියණියගේ දුරකථනයට ප්‍රතිචාර දැක්වූ පිරිමි කටහඬ නිසා තැතිගත් පියාට පොලිස් නිලධාරියා පවසන්නේ දියණිය අනතුරකට ලක්ව සිටින බැවින් හැකි ඉක්මනින් මරදාන පොලිස් ස්ථානයට පැමිණෙන ලෙසය. ඒ වන විටත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබූ නෙළුම් කුලුනෙන් වැටී මිය ගොස් ඇත්තේ සිය දියණිය බව පියා දැනගන්නේ මරදාන පොලිස් ස්ථානයට ගිය විටදීය. දියණියට සිදුවූ විපත ඔහුට අදහාගත නොහැකි සිදුවීමකි.

නවකවදය නිසා ඇතිවූ සිත් තැවුලක්ද?

අගලවත්තේ පිහිටි බෑග් සහ පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හිමිකරුවකු වන සිසුවියගේ පියා දියණියගේ මරණය ගැන ඝෘජුවම කිසිවෙකුටත් චෝදනා නොකළ ද කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක උසාවියේ පැවති මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පැවසුවේ දියණිය අධ්‍යාපනය ලබමින් සිටි පාසලේ නවකවදය ක්‍රියාත්මක වූ බව තමාට පවසා ඇති බවය. නවක වද ලබාදෙන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළත් ඇය ඒ කිසිවක් හෙළි නොකළ බවත් අඩුම තරමින් කුමන ආකාරයේ නවකවදයක් ලබා දෙන්නේ දැයි නොපැවසූ බවත්ය. එහෙත් එම පාසලේ කිසිදු සිසුවකු නවකවදයක් ගැන ප්‍රසිද්ධියේ කළ කතාබහක් ගැන මෙතෙක් හෙළි වී නැති අතර, පාසල පිහිටි ප්‍රදේශයේ පොලිස් ස්ථානය වන කුරුඳුවත්ත පොලීසියට ද එවැනි කිසිදු පැමිණිල්ලක් ලැබී නැත. එසේ වුවත් පියා කළ ප්‍රකාශය බැහැර කිරීමට කිසිසේත් නොහැක්කේ එම පාසලේ අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකු මේ වන විටත් සියදිවි හානිකරගෙන ඇති බැවිනි.

මිය ගිය සිසුවියගේ පවුලේ දියණියන් දෙදෙනෙකි. වැඩිමහල් දියණිය දෙවැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන අතර ඇය විදෙස් රටක අධ්‍යාපනය ලබන්නීය. මැය පවු‌ලේ බාලයාය. සාමාන්‍ය පෙළ ලන්ඩන් විභාගයට මුහුණ දීමට සූදානමින් සිටි ඇය පසුගිය දිනවල පාසල් යෑමට මැළිකමක් දැක්වුවත් ඊට නිශ්චිත හේතුවක් පවසා නැත. එහෙත් ඇය දැඩි මානසික පීඩනයකින් පෙළී ඇති බව පෙනී ගොස් ඇත්තේ මරණයෙන් පසුවය.

සියදිවි නසාගත් මිතුරන් ගැනත් කම්පාවෙන් ඉඳලා

පියා පවසන පරිදි ඇල්ටෙයා මහල් නිවාස සංකීර්ණයෙන් පැන සියදිවි හානි කරගත් සිසුවාත් සිසුවියත් එදා එසේ සියදිවි හානි කරගෙන ඇත්තේ වැලදගෙන සමුදෙමිනි. ඔවුන් මෙසේ සමුදෙන්නේ සියදිවි හානි කරගැනීමේ සූදානමින් බව සිය දියණිය දැන සිටි බවක් ද හෙළි වී නැත. ඇයගේ පියා පවසන්නේ සිය දියණිය 2022 වසරේ නොවැම්බර් සිට විශාදයට ප්‍රතිකාර ලබා ඇති බවත් සිය මිතුරන් දෙදෙනාගේ මරණය ගැන ඇය දැඩි වේදනාවකින් පසුවූ බවය. ඔහු සිය දියණිය ගැන විශේෂ අවධානයකින් සිට ඇති බවද මරණ පරීක්ෂණයේදී ලබාදුන් සාක්ෂිවලින් පෙනී යයි. දියණිය පාසල් යන විට ඇයට අනවශ්‍ය ලෙස මුදල් ලබා නොදී ඇති අතර, ඇය පරිහරණය කරන ජංගම දුරකථනයත් පරිගණකයත් ගැන සෙවිල්ලෙන් සිට තිබේ. කෙසේවෙතත් ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මරණයෙන් පැය 24ක් යන්නට පෙර සිදු කිරීමට පියවර ගෙන තිබූ අතර, කොළඹ ප්‍රධාන අවමංගල්‍ය ශාලාවක දේහය තැන්පත් කර අවසන් කටයුතු පවුලේ සමීපතමයන් කිහිප දෙදෙනකුගේ සහභාගීත්වයෙන් පමණක් සිදු වූයෙන් අඩුම තරමින් පාසල් මිතුරු මිතුරියන්ටවත් දේහයට අවසන් ගෞරවය දැක්වීමට අවස්ථාවක් නොවීය.

බුද්ධි අංශයේ නිලධාරීන් පෙන්වා දෙන්නේ පාසල් සිසුන් උස් ස්ථානවලින් පැන සියදිවි හානිකර ගත් සහ ඊට උත්සාහ ගත් පළමු හෝ දෙවැනි අවස්ථාව මෙය නොවන බවය. වසර කිහිපයකට පෙර කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලක සාමාන්‍ය පෙළ අධ්‍යාපනය ලබමින් සිටි සිසුවකු හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ඉහළ මහලකින් පැන සියදිවි හානිකරගත් අතර ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටි අයකු බවට ද කතාවක් පැතිර ගියේය. එහෙත් පසුව අනාවරණය වූයේ එම සිසුවාගේ මරණය වීඩියෝ ක්‍රීඩාවක් හා සම්බන්ධ බවය. එවැනි මරණයක් වාර්තා වූ පළමු අවස්ථාව එයය. යාපනයේ ප්‍රසිද්ධ විද්‍යාලයක සිසුවකුද වීඩියෝ ක්‍රීඩාවට ඇබ්බැහි වීමේ ප්‍රතිඵලයක් ලෙස පාසලේ තෙමහල් ගොඩනැඟිල්ලෙන් පැන සියදිවි හානි කරගැනීමට 2023 වසරේදී උත්සාහ දරා තිබුණද මහල් ගොඩනැඟිල්ලෙන් බිමට පනින විට අසල පිහිටි විදුලි සම්බන්ධතාව නොමැති විදුලි රැහැනක පැටලීම නිසා ඔහු අදටත් ජීවතුන් අතරය.

සියදිවි නසා ගැනීමක් කියන්නෙ උදව් ඉල්ලා කෑගැසීමක් වගෙයි ඊට සංවේදී වීම සමාජයීය වගකීමක්
– විශේෂඥ මනෝ වෛද්‍ය වින්ධ්‍යා විජයබණ්ඩාර ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍යායතනය

“සියදිවි නසා ගැනීම එක්තරා ක්‍රියාදාමයක්. එවැනි අදහසක් හිතට ආව කෙනෙක් මුලින් ඒ ගැන සැලසුම් කරලා පසුව ක්‍රියාත්මක වනවා. කෙනෙකුට ජීවත් වීමේ ආශාව නැතිවීමට දිගින් දිගටම දැනෙන කලකිරීම, විෂාදය වැනි තත්ත්වයන් හේතුව විය හැකි අතර, මත්පැන්, මත්ද්‍රව්‍ය වැනි ඇබ්බැහිවීම් ද සියදිවි නසාගැනීමේ ප්‍රවණතාව වැඩි කළ හැකිය. ඇතැම් අයගේ පෞරුෂ ලක්ෂණ එනම්, කෙනෙක් තුළ ප්‍රශ්න විසඳා ගැනීමට ඇති හැකියාව, ජීවිතය පිළිබඳ ආකල්ප ඍනාත්මක නම් ගැටලුවකදී ඔහුට ජීවිතය නැතිකර ගන්න හිතෙන්න පුළුවන්. සියදිවි නසාගැනීමක් කියන්නෙ උදව් ඉල්ලා කෑගැසීමක් වගෙයි. සියදිවි නසාගන්න අදහස් කරන කෙනෙක් තමන්ගේ අදහස වක්‍රව හෝ ඍජුව කියනවා වගේ හැසිරීමෙන් ඒ බව පෙන්නුම් කරනවා. “මට මහන්සියි, ජීවත් වුණා ඇති, මැරුණා නම් හොඳයි, ජීවත් වෙන්න ආශාවක් නෑ” මේ වගේ දේවල් කෙනෙක් දිගින් දිගටම කියනවා නම්, වෙනදා දැකපු සාමාන්‍ය ස්වරූපය වෙනස් වෙලා නම්, කලකිරීමෙන්, අසතුටෙන් ඉන්නවා නම්, සියදිවි නසා ගැනීමේ සූදානමක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේ වගේ දේවල් දැක්කට, ඇහුණට ඒ ගැන බොහෝ දෙනකු සංවේදී වෙනවා අඩුයි.

විශේෂයෙන්ම දරුවන් ගැන අපි වඩාත් සැලකිලිමත් විය යුතුයි. දරුවා කතා කරන විදිය, හැසිරෙන විදිහ වෙනස් නම් ඒ ගැන අවධානය යොමු කළ යුතුයි. සමහර දරුවො කිසිම දෙයක් කියන්නෙ නැහැ. නමුත් හිටපු ගමන් අධික ලෙස කෝප වෙනවා. කතා කරන්නෙම තරහින්. අඩුම තරමින් අහන දේකට පිළිතුරු දෙන්නෙ නැහැ. වෙනදා ආශාවෙන් කළ දේවල් පවා නොකර පැත්තකට වෙලා ඉන්නවා නම්, කලකිරුණු විලාසයෙන් ඉන්නවා නම්, පෞද්ගලික සනීපාරක්ෂාව ගැනවත් නොහිතා අපිළිවෙළට, අපිරිසිදුව ඉන්නවා නම් ඒක බරපතල තත්ත්වයක්. මෙවැනි හැසිරීමක් දරුවා තුළින් දකිනවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුමයි. ඒ වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් විශේෂඥ මනෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතුයි කියලා වහාම ඒ උපදෙස් පිළිපදින්න. ජාතික මානසික සෞඛ්‍ය වෛද්‍යායතනයේ පැය 24ම ක්‍රියාත්මක ක්ෂණික උපකාර සේවය 1926ට අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්නත් පුළුවන්. රහස්‍ය භාවය සහ විශ්වාසනීයත්වය රැකෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 12-15 දරුවන් සහ 20-25 නව යෞවනයන් අතර සියදිවි නසාගැනීමේ වැඩි ප්‍රවණතාවක් තිබෙනවා. ඒ වගේම වරක් සියදිවි හානි කරගන්න උත්සාහ කළ කෙනෙක් සියදිවි නසාගැනීමේ අවදානමත් වැඩි නිසා එවැනි අය ගැන නිරන්තර අවධානය අවශ්‍යයි. කෙනෙක් ජීවිතය අතහරින තීරණය ගන්නේ දරාගන්නම බැරි තැනකදි. ඒ පිළිබඳ සංවේදී වීම සහ උදව් කිරීම අපි හැම කෙනෙකුගේම සමාජයීය වගකීමක්.

නූතන තාක්ෂණික උපකරණ මඟින් ආරක්ෂක කටයුතු ශක්තිමත් කරනවා
– නෙළුම් කුලුන පරිපාලනය පවසයි

“2022 සැප්තැම්බර් 15 වැනිදා නෙළුම් කුලුන මහජනතාවට විවෘත කිරීමේ සිට 2024 ඔක්තොම්බර් මස 06 වැනිදා දක්වා දේශීය නරඹන්නන් 2,251,868ක් සහ විදේශීය නරඹන්නන් 93,958ක් එය නැරඹීමට පැමිණ තිබෙනවා. ගොඩනැඟිල්ලෙහි නැරඹුම් මැදිරිය තුළ සිදුවිය හැකි අනතුරු වැළකීම සඳහා සවිකර ඇති ආරක්ෂක වැට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව නිම කර තිබුණත් පසුගියදා එම නැරඹුම් මැදිරියෙන් පැන සිසුවියක් සිය දිවි හානිකර ගැනීම පිළිබඳ කළමනාකාරීත්වය ලෙස අප ඉතා කනගාටු වෙනවා.

එම සිසුවිය නැරඹුම් මැදිරියේ රැඳී සිටින අවස්ථාවේ අප කාර්ය මණ්ඩලයේ පස් දෙනකු රාජකාරියේ නියැළී සිටියා. ඔවුන් නැරඹුම් මැදිරිය වටාම ඇවිදමින් නිරීක්ෂණයේ යෙදී සිටින අතර, ඔවුන්ගේ නිරීක්ෂණය ඇය වෙත යොමු වු අවස්ථාවල ඇය කිසිදු කලබලයකින් තොරව අවට නරඹමින් සිටි නිසා ඇය සියදිවි නසාගැනීමේ අරමුණින් පැමිණි බවට සැකයක් ඇති වී නැහැ. ඇය දෙවරක් පැනීමට උත්සාහ කළ බව ආරක්ෂක කැමරා තුළින් නිරීක්ෂණය වුවත් ඒ තත්තර කිහිපයක් තුළ සිදුවූ එවැනි ක්ෂණික සිදුවීමක් වළක්වා ගැනීමට ප්‍රායෝගිකව නොහැකියි. ඊට හේතුව සියදිවි නසාගැනීමේ සැලසුමක් ඇතිව පැමිණි පුද්ගලයකුගේ මනෝ ස්වාභාවය හඳුනා ගැනීමට නොහැකි වීමයි. එසේ වුවද මෙම අවාසනාවන්ත සිදුවීමෙන් පසුව එවැනි සිදුවීම් සහ විනාශකාරි කටයුතු මැඩ පැවැත්වීමට නුතන තාක්ෂණික උපකරණ යොදාගැනීමට අප කටයුතු කරනවා. විදෙස් රටවල ශාරීරික උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් පුද්ගල මනෝ භාවයන් හඳුනාගත හැකි අධි තාක්ෂණ උපකරණ සහ ක්‍රමවේද භාවිත වනවා. එවැනි ආරක්ෂිත ක්‍රියාමාර්ග පිළිබඳ ද අපගේ අවධානය යොමුකර තිබෙනවා.

Cyber Bullying නිසාත් දරුවන් සියදිවි නසා ගැනීමට පොලඹනවා
– නිරෝෂ් ආනන්ද 
ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරි 
 ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය(CERT)

දරුවන් ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහි වීම වැඩි වෙමින් තිබෙන අතර, ක්‍රීඩා මෘදුකාංග හෝ සමාජ මාධ්‍ය යෙදුම්වලට ඇබ්බැහිවීම නිසා දවසේ වැඩි කාලයක් ඩිජිටල් තිර ඉදිරියේ ගත කරනවා. මෙරට වයස අවුරුදු 14 සිට 18 දක්වා දරුවන් වැඩි වශයෙන් මේ සඳහා ඇබ්බැහි වී සිටින බව හෙළිවී තිබෙනවා. ඇතැම් දරුවන් මව්පියන් නොදැනුවත්ව ඔවුන්ගේ ක්‍රෙඩිට් කාඩ්පත් සොරාගෙන හෝ වංචනික ආකාරයෙන් ඒ මඟින් මෙවැනි ක්‍රීඩාවල නිරතවී තිබෙනවා. මේ ඇබ්බැහි වීම කායික, මානසික ගැටලු රැසක් ඇති කරනවා. විශේෂයෙන් ඩිජිටල් තිර සමඟ ගත කරන කාලය වැඩිවීම නිසා ඇස්වල පෙනීම දුර්වල වීම, ස්නායු ආබාධ, හිසේ කැක්කුම් වැනි ශාරීරික ආබාධ මෙන්ම පරිකල්පන ශක්තිය, නිර්මාණශීලිත්වය දුර්වල වීම, අධ්‍යාපන කටයුතු දුර්වල වීම, සමාජ සම්බන්ධතා අහිමි වීම, නින්ද අඩුකම නිසා ශරීර ශක්තිය දුර්වල වීම ආදිය ද සිදුවෙනවා.

එහි භයානකම තත්ත්වය වන්නේ ඇතැම් ඩිජිටල් ක්‍රීඩා දරුවන් සියදිවි නසාගැනීම සඳහා පෙළවීමයි. Blue Whale සහ Momo Challenge වැනි ක්‍රීඩා දරුවන්ට මානසික පීඩන හා සියදිවි නසා ගැනීමේ ගැටලු ඇතිකරන බව හෙළිවී තිබෙනවා. පරිගණක, ජංගම දුරකතන ආදී ඩිජිටල් උපකරණ භාවිතයට සීමාසහිත කාලයක් ලබා දීම, දරුවා ශාරීරික ක්‍රීඩා සහ වෙනත් විනෝදාංශ කෙරෙහි උනන්දු කරවීම, පවුලේ සාමාජිකයන් සමඟ කතාබහ කිරීමට සහ ඇසුර සඳහා වැඩි කාලයක් යොදා ගැනීමෙන් දරුවන් මෙවැනි ඇබ්බැහිවීම්ලින් මුදාගත හැකිය.

මීට අමතරව අන්තර්ජාලය තුළින් සිදුවන හිංසන (Cyber Bullying) එනම්, අන්තර්ජාලය හරහා පුද්ගලයන්ට අනවශ්‍ය හෝ තරහින් පිරුණු පණිවිඩ යැවීම, අසභ්‍ය කරුණු පළ කිරීම, හෙළා දකිමින් විවේචන කිරීම ආදී තත්ත්වයන් නිසා කෙනෙකුට ජීවිතය එපා විය හැකිය. පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කිරීමේදී සැලකිලිමත් වීම, Cyber Bullying සිදුකරන්නන් පිළිබඳ වාර්තා කිරීම ඒවායින් වැළකී සිටීම සඳහා ගත හැකි පියවරයි. දරුවකු මෙවැනි බුලි කිරීමකට ලක්වුවහොත් සියදිවි නසාගැනීමකට වුවත් පෙලඹිය හැකි නිසා දරුවන් ඇසුරු කරන මිතුරන් ගැන මවුපියන් විමසිල්ලෙන් සිටීම වැදගත්.

ඩිජිටල් ක්‍රීඩා සහ මෙවැනි සයිබර් අපරාධ නිසා දරුවකු කනස්සල්ලෙන් සිටින බව හඳුනා ගැනීම සියදිවි හානිකරගැනීම් වළක්වා ගැනීමට ඉතා වැදගත් වනවා. දරුවන් ඩිජිටල් උපකරණ සමඟ තනිව කාමරයේ දොර වසාගෙන සිටින්නට ඉඩ නොදීම, දරුවා ජංගම දුරකථනය, පරිගණකය සමඟ ගත කරන කාලය පිළිබඳ අවධානයෙන් සිටීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි.

පරිගණක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ක්ෂණික ඇමතුම් අංකය අමතා 101 තාක්ෂණික සහාය සහ උපදෙස් ලබාගැනීමට ඕනෑම අයකුට අවස්ථාව තිබෙනවා. දරුවන්ට සිදුවන එවැනි අකටයුතුකම් සඳහා නීතිමය ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන්, ළමා හා කාන්තා කාර්යාංශයෙන් ලබාගත හැකියි. ඒ වගේම ඩිජිටල් ක්‍රීඩාවලට ඇබ්බැහි වී සිටින දරුවෙක් විෂාදයටත් ඉන් පසුව සියදිවි නසාගැනීම වැනි බරපතළ තත්ත්වයකටත් පත්වීමේ අවදානමක් ඇති නිසා, කළ යුතු හොඳම දේ මුල් අවස්ථාවේදීම සුදුසුකම් ලත් මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කර උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීමයි.

(උපුටා ගැනීමකි)





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: