2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
”නගර සභාවෙ මාත් එක්ක එකටම හිටපු දොළොස් දෙනාම මියගියා කියලා හිතනකොට මගෙ හිත වාවන්නෙම නෑ…… මේ ගමන වෙනදට මම යනවාමයි.
මේ ගමනටත් මම යන්න ලෑස්ති වුණා. ඇඳුනුත් හැදුවා.කලින් දවසේ රෑ දුව විශ්වවිද්‍යාලයේ ඉඳල ආවා. එයා ආවේ වැඩ ගොඩක් කරන්න බලාගෙන. තාත්තා ගිහාම කොහොමද මම වැඩ ටික කරගන්නේ නොගිහින් බැරිද කියලා මගෙන් කීප සැරයක්ම ඇහුවා. ලේකම් මහත්තයා හැම වෙලේම මට කියලා තිබුණේ ගමන යමු කියලා.
“උඹ නැත්තං කිසි ආතල් එකක් නෑ. ඒ හින්ද රංජි එන්නම ඕන කියලා මට කීප වරක්ම කිව්වා. ඒත් දුවගේ වැඩ ටික නිසා මට යන්න බැරිම තත්ත්වයක් ආවා.
පාන්දර ගෙදර ළඟට ඇවිල්ල හෝන් කරනවා මට ඇහුණා. එළියට ගියොත් බේරිල්ලක් නැති බව මම දන්නවා. ඒ නිසා මම ඇහෙන්නේ නෑ වගේ හිටියා. දැන් ඒව මතක් වෙනකොට හිත වාවන්නේ නෑ…
හැම අවුරුද්දෙම අවුරුද්දට දෙසැරයක් විනෝද චාරිකාවක් සංවිධානය කරනවා. අපි නගර සභාවේ කටයුතු කළේ එකම පවුලක් වගේ. හැමෝම හරිම එකමුතුයි. මොනම දේකදි වුණත් හැමෝම එකා වගේ ඉන්නවා. මට හිතාගන්න බැරි හැමෝම එකටම මේ ලෝකේ හැරදා ගියේ කොහොමද කියලා.
පුංචි එවුන් අද ඇස් වහගෙන ඉන්න හැටි දැක්කහම මට දරා ගන්න අමාරුයි. මොකද මේ දරුවෝ අපිත් එක්ක හරි එකතුයි.
මොකද උන් ඉපදුන දවසේ ඉඳලම හැම අවුරුද්දකම අපි හැමෝම එකට විනෝද ගමනක් යනව. ඒ නිසා මේ කාර්යාල සේවකයෝ කියන හැඟීමක් අප අතර තිබුණේ නෑ…..”
තංගල්ල නගර සභාවේ වැඩ පරිපාලක රංජි මහතා කියා සිටියේය.
“අපි කණ්ඩායමක් විදියට අනතුර සිදුවූ ස්ථානයට ගියා. නමුත් එම ස්ථානයේ තුවාල ලබා සිටි බොහෝ දෙනකු අසලටම යන්නට හැකියාවක් ලැබුණේ නැහැ. හැකි තරමට පුළුවන් තරම් තුවාල වූ හැමදෙනාටම වගේ අපි ඒ ස්ථානයේදීම ප්‍රතිකාර ලබා දුන්නා. අනිත් හැම දෙනාම රෝහලට පිටත් කර එවීමට යුහුසුළුව කටයුතු කළා.”
මෙම අනතුරින් බස් රථයේ රියැදුරු ඇතුළු පිරිමි පුද්ගලයන් 6 දෙනකු කාන්තාවන් 9 දෙනකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළේය.
බස් රථයේ පිරිස මුදා ගැනීම සඳහා සහය වූ පුද්ගලයන් දෙදෙනකු ද තුවාල ලබා ප්‍රතිකාර සඳහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසීය.
මියගිය පිරිස අතර තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු සේවකයන් 12 දෙනකු සිටින බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ද තහවුරු කළේ ය.
ඔහු සඳහන් කළේ, එක් සේවිකාවක අතුරුදන් බවත් ඇය සොයා මෙහෙයුම් සිදු කෙරෙන බවත් ය. නමුත් ඒ පිළිබඳ දැඩි සැකයක් පවතී. බස් රථයට යට වී තවත් පුද්ගලයකු ඇති බවට රාවයක් පැතිර ගියද එසේ නොවන බවටද රාවයක් පැතිර යමින් තිබේ. එසේ වුවද බස් රථය ඇති ස්ථානය පරීක්ෂා කිරීමේ කටයුතු නිමා කර තිබුණේ නැත.
අනතුරට සම්බන්ධ ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියා සිටියේය. මියගිය පුද්ගලයන්ගේ මෘත ශරීර දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල මෘත ශරීරාගාර තුළ තැම්පත් කර තිබුණේ පශ්චාත් මරණ පරීක්ෂණ] සඳහාය. ඒ වන විට තංගල්ලේ වැසියන්, ඥාතීන් වැල නොකැඩී බදුල්ලට පැමිණ සිටියහ. ඒ විනෝදයට ගියත් තම තමන්ගේ හිතෛශීන්ගේ මියගිය සිරුර භාර ගැනීමටය.
අනතුර සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.
බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් පැවසීය. මේ අතර බසයේ ඉදිරිපස ගමන් කළ තරුණයකු කියා සිටියේ රියැදුරු මහතා බසයේ තිරිංග ක්‍රියා විරහිත වී ඇති බව කියා සිටි බවය. ඔහු විහිළුවට ඒ බව කියන බව හැඟී ගිය හෙයින් එය ඒ මොහොතේ සැලකිල්ලට නොගත් බවද ඔහු කියා සිටියේය.
තංගල්ල මහ නගර සභාවේ සේවකයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් රැගෙන විනෝද චාරිකාවක් සෑම වසරකම අවස්ථා දෙකකදී යන බවත්, ඒ සඳහා වෙනම සංවිධායක මණ්ඩලයක් සිටින බවත් කියා සිටියේ නගර සභාවේ වැඩ බලන වැඩ පරිපාලක රංජි මහතාය.
පුරුද්දක් විදිහට විනෝද චාරිකාව යන පිරිස සෑම වසරකම ඊට සූදානම් වන්නේ පුරුදු ගමනක් යන්නට ඉන්න පිරිසක් ලෙස බැව්ද ඔහු කියා සිටියේය.
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:04
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:38
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:08
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:06
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:02
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25
07-09-25