hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජනවාරි 23, පෙ.ව. 11:00



“බස් එක කොළඹ එන අතරමඟදී නියුට්‍රල් දාගෙන වේගයෙන් ආවා. ටිකක් දුර එද්දි බස් එකේ වේගය එකපාරට වැඩි වුණා. බස් එක ගස්සගෙන වගේ වේගෙන් යද්දි අපිට බය හිතිලා කෑගැහුවා.  ඒත් එක්කම විශාල ශබ්දයක් එක්ක අපිව පහළට ඇදී යන බව දැනුණා” යැයි නුවරඑළිය චාරිකාවක් ගොස් එන අතරතුර අනතුරට ලක් වූ බස් රථයේ සිටි තර්ස්ටන් විද්‍යාලයේ 11-සී ශ්‍රේණියේ සිසුවකු සිය බිහිසුණු අත්දැකීම විස්තර කරමින් පැවැසුවා.

සිය අත්දැකීම ගැන එම සිසුවා වැඩිදුරටත් මෙසේ ද කියා සිටියා,

“අපි හග්ගල උද්භිද උද්‍යානය නැරඹීමෙන් අනතුරුව දහවල් ආහාරය ගැනීමට නුවරඑළිය ග්‍රෙගරි වැව ආසන්නයට පැමිණියා. එහිදී අපි දිවා ආහාරයෙන් පසුව නැවත පිටත්වීමට මඳක් පමා වුණා. අපි සමඟ ගිය බස් රථ අපිට ප්‍රථමයෙන් පිටත් වුණා. අපි සමඟ සිටි සිසුවකුට වැසිකිළියට යාමට අවශ්‍ය වූ නිසා අපිට තවත් මිනිත්තු 45ක් පමණ එහි වැඩිපුර රැඳී සිටීමට සිදු වුණා.

බස් එක පෙරළෙන විට පිටි පස්සේ සීට්වල සිටි අය ඔක්කොම ඉස්සරහට විසි වුණා. අපේ බස් එකේ ඔක්කොම 41 දෙනකු හිටියත් අපි හතර දෙනකුට විතරයි මේ අයට උපකාර කරන්න පුළුවන් තත්ත්වයක් තිබුණේ. අපේ බස් එකේ රියැදුරුවරයා තරමක් වයසක අයෙක්. මෙම අනතුර සිදු වූ අවස්ථාවේදී එම ප්‍රදේශයේ ජනතාව අනතුරට පත් සිසුන් කඩිනමින් ප්‍රතිකාර සඳහා යොමු කළා. අපි පන්ති 7ක සිසුන් මේ චාරිකාව ආවා. මෙහි ගමන් ගත් සිසුන්ගේ අත් පා කැඩී ඔළු පැළී සිටියා. අනතුර වන අවස්ථාවේ මා පියා සමඟ කතා කරමින් සිටියේ. අනතුර වූ වහාම මා පියාට දැනුම් දී සුවසැරිය ගිලන් රථ ගෙන්වා ගත්තා”

එම අනතුරු සම්බන්ධයෙන් තර්ස්ටන් විද්‍යාලයේ තවත් සිසුවකු මෙසේ සඳහන් කර සිටියා,

“අපි සෑහෙන වේගෙන් ආවේ. අපි සියලු දෙනා කෑගැහුවා. මම උන්නේ ඉස්සරහ සිට්වල වගේ. මුකුත් පෙනුණෙ නැහැ, කළුවර තමයි තිබුණේ. පස්සේ ලොකු සද්දයක් එක්ක අපිව උඩින් විසි වුණා වගේ දැනුණා. වෑන් එක නවත්තලා තිබ්බ එකක් කියලා තමයි අපි දන්නේ. යකඩ බැම්මේ වැදිලා අපිව පහළට වැටුණා. අපේ අයගෙ අත් කැඩිලා, අත් පැනලා, ඔළු පැළිලා වගේ තිබෙන්නේ.”

මෙම චාරිකාවට එක්ව සිටියදී අනතුරට ලක් වූ තර්ස්ටන් විද්‍යාලයේ සිසුවකු මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

අනතුර සිදු වූ අවස්ථාවේදී සිසුන් 41 දෙනකු නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් සිසුන් පස් දෙනකු කොළඹ ජාතික රෝහලට මාරු කර තිබෙනවා.

ඉන් සිසුන් සිවු දෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා වාට්ටු වෙත මාරු කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: