hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 21, පෙ.ව. 12:04



ලොව පුරා තවමත් කතාව අම්බානි පවුලේ සුපිරි මංගල්‍යය ගැන ය. පසුගිය සති අන්තයේ දින තුනක් පුරා පැවැති ආසියාවේ ලොකුම ධනවතා වන මුකේෂ් අම්බානි පවුලේ බඩපිස්සා අනන්ට්ගෙත් ඔහුගේ ආදරය දිනූ රාධිකාගෙත් මෙගා විවාහය ගැන ලෝක ප්‍රජාව කතා කරන්නේ අයාගත් මුවින් යුතුවය. විවාහයට වැය කළ මුදල එතරම්ම වැඩිය. ලෝක ධනවතුන් අතරත් 11 වැනි ස්ථානයේ පසුවන අම්බානි සිය බාල පුත්‍රයාගේ විවාහයට වැය කළ මුදල නිල වශයෙන් ප්‍රකාශ කර නැත. එහෙත් නිල නොවන තොරතුරුවලට අනුව එය අමෙරිකානු ඩොලර් මිලියන 320 ඉක්මවා ගොස් තිබේ. ඉන්දියාවේ ලොකුම ධනවතා මුකේෂ් අම්බානිගේ බාල පුතු අනන්ට් අම්බානිගේ තුන්දින නිල විවාහ උත්සවය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 320ක් (ඉන්දීය මුදලින් නම් රුපියල් කෝටි 2673කි. ශ්‍රී ලංකා මුදලින් ගණනය කරන්නේ නම් එය රුපියල් කෝටි 9682 ඉක්මවූ එකකි. එය තුන්දින විවාහයට පමණි. ඊට පෙර පසුගිය මාස 7ක් පුරා අම්බානිලා විවාහයට සූදානම් වෙමින් සිටියදී අනන්ට් අම්බානි සහ බිරිය රාධිකා මර්චන්ට්ගේ විවාහ ගිවිස ගැනීමේ සිට මේ දක්වා සියලු කටයුතු සඳහා වැය වී ඇතැයි ඇස්තමේන්තු කර ඇති මුදල අමෙරිකානු ඩොලර් මිලියන 600කට වැඩි ය. එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 18,000 ඉක්මවන්නකි. එබැවින් ලෝක ප්‍රජාව ඇස් පිල්ලම් නොගසා අම්බානි පවුලේ විවාහය ගැන තොරතුරු කියවන්නේ නම්, වීඩියෝ පට නරඹන්නේ නම් එය පුදුමයට කරුණක් ද නොවනු ඇත.

පසුගිය සිකුරාදා සිට ඉරිදා දක්වා විවාහය පැවැත්වූයේ මුම්බායි නුවර ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේදීය. දහස් සංඛ්‍යාත ජනතාව මුම්බායි නුවර වීදි පුරා එක්රොක් වී සිටියේ නව යුවළ ඔවුන්ගේ අනිටිලා මන්දිරයේ සිට විවාහ උත්සවය පැවැති ජියෝ වර්ල්ඩ් ශාලාව දක්වා ගමන් කරන ආකාරය දැක බලා ගැනීමටය. ලොව පුරා තවත් මිලියන ගණනාවක පිරිමි සමාජ මාධ්‍ය ජාලයේ එහා මෙහා රස්තියාදු වන්නට වූයේ අමෙරිකාවේ සරාගි නිරූපිකා කිම් කඩාෂියන් සහ ඇගේ නැඟණිය කොලි සම්ප්‍රදායික හා ඉස්තරම් ඉන්දීය ඇඳුමින් සැරසී විවාහ උත්සවයට යන හැටි දැක බලා ගැනීමටය. එපමණක් නොව විදෙස් රටවල හිටපු අගමැතිවරු, ජනාධිපතිවරු ඇතුළු ජාත්‍යන්තර වශයෙන් තවත් ජනප්‍රිය පුද්ගලයන් විවාහයට සහභාගි වීම නිසා එය එහෙම පිටින්ම සැණකෙළියක් බවට පත්වී තිබිණි.

අම්බානිලා මේ දින තුන විවාහය සඳහා යොදා ගත්තේ ජ්‍යෙතීර්වේදීන්ගේ උපදෙස් මත ය. එය සිදුවූයේ අනන්ට්ගේ සහ රාධිකාගේ කේන්දරවලට අනුවය. විවාහයේ සැලැස්ම තනිකරම අධීක්ෂණය කරනු ලැබුවේ මුකේෂ් අම්බානිගේ බිරිය නීටා අම්බානි, දියණිය ඉෂා සහ ලේලිය ශ්ලෝකා අම්බානි විසිනි. උත්සවයේ විවිධ අවස්ථාවන් සැලසුම් කිරීමට තවත් කණ්ඩායම් කිහිපයක්ම විය. ඔවුන් ඒවා සැලසුම් කරනු ලැබුවේ සති ගණනාවක් තිස්සේය.

නේපාල සම්භවයක් ඇති සුප්‍රකට අමෙරිකානු මෝස්තර නිර්මාණ ශිල්පි ප්‍රභාල් ගුරුං අම්බානි පවුලේ සියලු ඇඳුම් ආයිත්තම්වල නිර්මාණකරුවා වූ අතර, ඔහුගේ කණ්ඩායම මේ සඳහා පසුගිය මාස කිහිපය පුරා අවිවේකීව සිටියේය. මුළු විවාහ උත්සවයේම මල් සැරසිලි නිර්මාණය සිදු කරනු ලැබුවේ පැනමා ජාතික මල් නිර්මාණ ශිල්පි ප්‍රිස්ටන් බේලි ය. ඔහු මල්වලින් රූප නෙළීමේ නොම්මර එකේ දක්ෂයෙකි. උත්සව ශාලාවේ තැනින් තැන වඳුරන්, අලි ඇතුන් ආදි සතුන්ගේ රූප මලින් නෙළන්නට ඔහු මල් ලක්ෂයකට වැඩිය භාවිත කර තිබිණි. දිවා රෑ නොබලා ඔහු ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ ශාලාවේ සැරසිලි සිදු කරනු ලැබුවේ සති තුනක් තිස්සේය.

විවාහයේ පළමු දිනයේදී ආරාධිතයන්ට උපදෙස් දී තිබුණේ සම්ප්‍රදායික ඉන්දීය ඇඳුම් ආයිත්තම්වලින් සැරසී පැමිණීමටය. 16,000කට ඉඩ ඇති ජියෝ වර්ල්ඩ් සම්මන්ත්‍රණ ශාලාව ඉතිරෙන්නට අමුත්තෝ සිටියහ. කිම් කාඩාෂියන්ලා කෙසේ වෙතත් කාගෙත් අවධානය යොමු වූයේ ලෝක ප්‍රකට මල්ලවපොර ශූර ජොන් සීනා ඉන්දීය සර්වාර් ඇඳුමින් සැරසී සිටීමය. ඉන්දීය ඇඳුම ජොන් සීනාගේ ද අපමණ සතුටට හේතු වී තිබිණි.

මනාලිය රාධිකා පියාගෙන් සමුගනිද්දී සංවේදී වූ අයුරු

පළමු දිනය වූ 12 වැනිදා මනාලයාගේ සම්ප්‍රාප්තිය හෙවත් ‘බරාත්‘ උත්සව දිනය වූ අතර, අසිරිමත් පෙරහරකින් සුදු අශ්වයකුගේ පිට නැඟ අනන්ට් පැමිණියේ සිය ගණනාවකින් සමන්විත තූර්යවාදන කණ්ඩායමක් සහ නර්තන ශිල්පීන් පෙරටු කර ගෙනය. එවැනි වර්ණවත් අවස්ථාවක් ඊට පෙර දැකගත හැකි වූයේ බොලිවුඩ් චිත්‍රපටවලින් පමණි. බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරුන් වන ටෝනි බ්ලෙයාර් සහ බොරිස් ජොන්සන් ඇතුළු විදේශීය අමුත්තන්ට ඒවා විස්මය දනවනසුලු දසුන් බවට පත්ව තිබිණි.

මනාලයා අනන්ට් උත්සව ශාලාවට කැටුව පැමිණියේ පියා මුකේෂ් අම්බානි ය. ගණදෙවියන්ගේ රූපය සහිත ලන්තෑරුමක් අතැතිව නීටා අම්බානි සිය බාල පුතු මනාලයාගේ ඉදිරියෙන් ගමන් කළාය. මනාලිය රාධිකා මර්චන්ට් උත්සව ශාලාවට පැමිණියේ මොනර හැඩැති මංගල රථයකිනි. ඇය රථයෙන් බැස පියා විරේන් මර්චන්ට්ගේ අත ගෙන ඇවිද යද්දී පසුබිමෙන් ඇසෙන්නට වූයේ ශ්‍රෙයා ගෝෂාල්ගේ සජීවි ගී හඬ ය. ඇගේ අලංකාර මංගල ඇඳුම තනිකරම රන් නූලෙන් අතින් වියන ලද්දකි. එය ඉන්දියාවේ නොම්මර එකේ මෝස්තර නිර්මාණ ශිල්පි මනීෂ් මල්හෝත්‍රාගේ නිර්මාණයකි. විවාහ උත්සවය පැවැති දින තුනේදීම උදේ හවස වෙන වෙනම ඇඳුම් ආයිත්තම් සැලසුම් කර තිබුණේ මනාල යුවළට පමණක් නොවීය. අම්බානි සහ මර්චන්ට් පවුලේ අය මෙන්ම පැමිණ සිටි අමුත්තෝ ද උදේ හවස අලුත් ඇඳුම් ආයිත්තම්වලට මාරු වූහ.

ඇය සිය අනාගත සැමියා වෙත බාරදීමට පෙර විරේන් සිය දියණිය සිප වැලඳ ගත්තේය. එය ඕනෑම පියකු හැඟුම්බර වන අවස්ථාවකි.

උත්සව ශාලාවට පැමිණ සිටි අමුත්තන් පිළිගනු ලැබුවේ අනන්ට්ගේ මව නීටා ය. ඇගේ පිළිගැනීමේ කතාවෙන් පසු හින්දු ආගමික සිරිතට අනුව විවාහයේ චාරිත්‍ර වාරිත්‍ර සිදුවූ අතර, ඒවා විදෙස් රටවල අමුත්තන් නරඹන්නට වූයේ දැඩි උනන්දුවකිනි. ඊළඟට නර්තන හා ගායනාවලින් උත්සවය රසවත් වන්නට වූ අතර, අසූව දශකය අගභාගයේදී ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත්වූ ‘කල් නායක්‘ චිත්‍රපටයේ මධුරි ඩික්සිත් සහ සංජේ දත් රංගනයෙන් දායක වූ ‘චෝලි කේ පීචේ ක්යාහේ‘ ගීතයට එදින මධුරි ඩික්සිත් අපූරු රංගනයක නිරත වූවාය. සල්මාන් ඛාන් සහ ෂාරුක් ඛාන් එක්ව නර්තනයේ යෙදෙන විට ඔවුන්ට ලැබුණේ අසීමිත ප්‍රතිචාරයකි. දෙමළ සිනමාවේ සක්විති රජිනිකාන්ත් සමඟ ඉන්දියාවේ සුපිරි ක්‍රිකට් තරුව වූ සචින් තෙන්ඩුල්කර් මෙන්ම බොලිවුඩ් සිනමාවේ සක්විති අම්තාබ් භච්චන් ද එකට සිටිනු දක්නට ලැබීමත් අසිරියක් විය.

දෙවැනි දිනයේ උත්සවය ආරම්භ වූයේ අම්බානි පවුල සරස්වති දෙවඟනට තැබූ පූජාවකින් පසුවය. එය සම්ප්‍රදායිකව සිදුවන්නකි. අම්බානි පවුලේ උපන් බිම වන ගුජරාට් ප්‍රාන්තයට ආවේණික සිරිත් විරිත් රැසකි. දෙවැනි දිනයේ උත්සවයට අගමැති මෝදිත් පැමිණි අතර, මුකේෂ් අම්බානි අගමැතිවරයා උත්සව ශාලාවට කැටුව යෑමෙන් පසුව මනාල යුවළ පැමිණ මෝදිගේ පාද ස්පර්ශ කර ආශිර්වාද ලබාගත්හ.

‘මංගල් උත්සව්‘ නමින් හඳුන්වනු ලැබූ තුන්වැනි හා අවසන් දින විවාහ උත්සවයට අමුත්තන් 14,000ක් සහභාගි වූ අතර, එය තනිකරම නර්තන, ගායන හා වාදනයෙන් පිරී ගිය එකකි. මනාල යුවළ විශේෂ නර්තනයක් ඉදිරිපත් කළ අතර, නීටා අම්බානි සිය දියණිය සහ ලේලිවරුන් දෙදෙනා සමඟ තවත් නර්තනයකි. රාධිකා මර්චන්ට්ගේ මව ශයිලා මර්චන්ට් සහ සොහොයුරිය අංජලී මර්චන්ට් ද එදින නර්තනයක් ඉදිරිපත් කිරීම කාගෙත් කතාබහට ලක්වූහ. සැබැවින්ම එදින පැවැත්වූයේ නර්තනය නොදන්නා අය පවා නැට‍ෙවන ආකාරයේ උත්සවයකි. ඊට පෙර මල්ලවපොර වළල්ලේ සටන් කළ ජොන් සීනා නර්තනයේ යෙදෙනු එදින කවුරුත් පළමුවරට ජීවමානව දැක බලා ගත්හ. උත්සවයට පැමිණ සිටි ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති ගියානි ඉන්ෆන්ටිනෝ ද හිතේ හැටියට නැටුවේය. ඔහු නර්තනයේ යෙදුණේ ඉන්දීය පිලේ සුපිරි ක්‍රීඩක හර්දික් පාන්ඩ්‍යා සහ බොලිවුඩ් නළු රන්වීර් සිං සමඟය. හර්දික් පැමිණ සිටියේ ඔහුගේ සොහොයුරු කුනාල් පාන්ඩ්‍යා සහ නෑනන්ඩිය සමඟ බැවින් ඔහුගේ සහ සර්බියානු බිරිය නටාසාගේ දික්කසාදය ගැන පැතිරී ගිය කසුකුසුවලට තටු ලැබී තිබිණි. ඊළඟ කාරණාව වූයේ කාලයක් තිස්සේ දික්කසාදයක් ගැන ඇතිවී නැතිවී යන බච්චන් පවුලේ ජනප්‍රිය කතාවට ද තටු ලැබී තිබීමය. ඇතැම් අවස්ථාවලදී අභිෂේක් සහ අයිෂ්වර්යා කතාබහ කරමින් සිටිය ද, සමූහ ඡායාරූපයකට පෙනී සිටීමේදී නම් ඇය බච්චන් පවුල සමඟ එකට නොසිටීමෙන් ඡායා බච්චන් හා අයිෂ්වර්යා අතර නැන්දම්මා- ලේලියගේ සුප්‍රකට ආරවුල ගැන කතාවටත් තටු ලැබී තිබිණි.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් නර්තනයේ නිරත වූයේ සිය පොඩි පුතු කරේ තබාගෙනය.

ඔලිම්පික් පදක්කම්ලාභී ඉන්දීය බොක්සිං ක්‍රීඩිකා මේරි කොම්, හිටපු මල්ලවපොර ශූර ‘ග්‍රේට් කාලි‘, ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවෝද අම්බානිලාගේ විවාහ උත්සවය වර්ණවත් කළහ.

මහේන්ද්‍ර සිං දෝනි, සචින් තෙන්ඩුල්කර්, ජස්ප්‍රීට් බුම්රා, රෝහිත් ෂර්මා, රිෂ්බා පාන්ට්, සූර්යකුමාර් යාදෙව්, ලෝකේෂ් රාහුල්, ගෞතම් ගම්භීර් සිය බිරින්දෑවරු සමඟ පැමිණ සිටි අතර, සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකාවන් වන ස්ම්‍රිටී මන්දානා, සෝනු නිගම් ඇතුළු ජනප්‍රිය ගායක ගායිකාවෝ මෙන්ම දේශපාලන පොර පිටියේ ප්‍රකට පුද්ගලයෝ රැසක් ද එහි වූහ. ඉන්දියාවේ චීන තානාපතිවරයා ඇතුළු තවත් රටවල් රැසක තානාපතිවරුන්ද, මුකේෂ්ගේ ව්‍යාපාරික සගයා වන ගෞතම් අදානි ඇතුළු නොම්මර එකේ ව්‍යාපාරිකයන් ද උත්සවයේ ආරාධිතයෝ වූහ.

මුළු උත්සවයම සතුටින් හා ප්‍රීතියෙන් ගත වී ගියත් තුන්වැනි දිනයේ අවසන් භාගය නම් තරමක සංවේදී දසුන්වලින් සමන්විත වූයේ සමුගැනීමේ මොහොත එළැඹීම නිසාය. ‘විදායි‘ නමින් හඳුන්වනු ලැබූ එම අවස්ථාවේදී නම් අම්බානි හා මර්චන්ට් පවුලේ සාමාජිකයන් මෙන්ම පැමිණ සිටි ආරාධිතයන්ගේ දෑසට ද කඳුළු නැඟී තිබිණි. විදායි අවස්ථාවෙන් කියැවෙන්නේ මනාලිය සිය පවුලේ අයගෙන් සමුගැනීමේ මොහොත ගැනය. අලුත් ජීවිතයක් ඇරඹීමට සැමියා සමඟ පිටවී යන අවස්ථාව ගැනය. එය ආදරය, කරුණාව, අවවාද හා ආශිර්වාදවලින් පිරී ගිය එකකි. ඊට පෙර පැමිණ සිටි අමුත්තන්ට ස්තූතිය පුද කරමින් සිය ස්තූති කතාව සිදු කළ මනාලිය රාධිකා සමුගැනීමේ මොහොතේදී නම් දැකගත හැකි වූයේ ශ්‍රී ලාංකික විවාහයක මෙන් මනාලිය සිය පවුලේ අයගෙන් සමුගැනීමේදී සිදුවන ආකාරයේ සංවේදී දර්ශන පෙළකි. රාධිකා අලුත් ජීවිතයක් ගත කිරීමට මුකේෂ් අම්බානි පවුලට එකතු වූයේ ඒ ආකාරයෙනි. විවාහය නිමාවට පත්වූයේ අම්බානිලාගේ මේ අතිසුඛෝපභෝගී විවාහ උත්සවය ඉන්දීය ජනතාව පමණක් නොව ලෝක ප්‍රජාව අතරත් මතකයේ තැන්පත් වන සිදුවීම් රැසක් ඉතිහාසයට එක් කරමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: