hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 30, පෙ.ව. 12:02



මමයි මහත්තයි දරු සුරතල් බලන්න සිහින මව මවා හිටියේ. මගේ දරුපැටියගේ මූණ යාන්තම් මට පෙන්නුවා. ඒත් මට වඩා ගන්න දුන්නේ නැහැ යැයි වැලිගම යද්දෙහිවත්ත කොහුණුගමුව පදිංචි ඩබ්ලිව්.ඒ. කාවින්දෑ මදුශානි මහත්මිය හඬා වැලපෙමින් කීවා.  

” මැරිච්ච දරුවකුටවත් නිදහසක් නැහැ මිනිය මට දුන්නා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ. මම මුකුත් කිව්වේ නැහැ මම ඉල්ලුවේ මගේ දරුවගේ මිනිය විතරයි.”වැලිගම යද්දෙහිවත්ත පදිංචි ඩබ්ලිව්.ඒ. කොහුණුගමුව කාවිද්‍යා මදුශානි (23) තරුණිය පෞද්ගලික ආයතනයක සේවය කරන අතර එම ආයතනයේම සේවය කරන දෙණියාය ප්‍රදේශයේ පදිංචි තරුණයකු වූ ආර්.එච්. සජිත් චතුර මහතා (27) සමග දැන හැඳින ගැනීමෙන් අනතුරුව විවාහ වීමෙන් පසුව කාවින්දෑ මදුශානිගේ මව්පියන් සමග මෙම තරුණ යුවළ සතුටින් ජීවත් වෙමින් සිටියා.

යුවළගේ පළමු කුළුඳුල් දරුවා බිහි කිරීම සඳහා කාවිද්‍යා මදුශානි තරුණිය දින ගනිමින් කල් ගෙව්වාය. මේ සඳහා පෞද්ගලික වෛද්‍යවරයකු වෙත යොමු වී උපදෙස් ලබා ගැනීමට ද මොවුහු අමතක නොකළහ.සුපුරුදු පරිදි ඉකුත් 22 වැනිදා සිය පෞද්ගලික වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කාවිද්‍යා මදුශානි කටයුතු කළ බැවින් එම වෛද්‍යවරයාගේ නිගමනය මත වහාම රාත්‍රි 11:30ට පමණ ත්‍රීරෝද රථයකින් මාතර කොටවිල නව දිස්ත්‍රික් මහ යොමු වී තිබේ. රෝහල වෙත අනතුරුව ඇය පරීක්ෂා කළ

වෛද්‍යවරුන් ඇයට ඖෂධ වර්ග ලබාදීමට කටයුතු කර තිබිණි.පසුව ඉකුත් විසි හතර දින (24) අලුයම දෙකයි හතළිස් එකට ඇය දරුවකු බිහිකර තිබිණි.

එම බිලිඳා ඇයට මුල් වරට පෙන්නූ බවත් නමුත් ඇයගේ දෝතට නොදුන් බව කියමින් ඇය කඳුළු සලමින් හඬන්නට වූවාය.දරු සුරතල් බලාපොරොත්තුවෙන් සිටි කාවින්ද මදුශානි මඳ වේලාවකට පසුව නැවත මෙසේ කියන්නට වූවාය.මම 22 බබා හම්බවෙන්න චැනල් එකට ගියා. වෛද්‍යවරයා කිව්වා බබාගේ හාට් එක වැඩ  කරන්නේ නැහැ රෝහලට යන්න කියලා  පසුව රෝහලේ නැවතුණා.

දරුවා ගන්න අමාරු වෙන්න බෙහෙත් දාලා කැමැත්ත අරගෙන දරුව ගත්තා. වෛද්‍යවරු කියන්නේ මගේ බඩේදිම දරුවා නැති වෙලා කියලා තමයි. ඩොක්ටර් කියන දේ තමයි මම දන්නෙ. මම ඩොක්ටර් කෙනෙක් නෙ වෙයිනේ. එයාලා කියන දේ තමයි මම දන්නේ කොහොම හරි දරුවා ලැබුණට පස්සේ මගේ අතටවත් දුන්නේ නැහැ. අල්ලන්නවත් දුන්නේ නැහැ. පොඩ්ඩක් පෙන්නුව විතරයි. කොහොමහරි ඉතින් මගේ මහත්තයා එනකල් දරුව තියාගන්න කියලා කිව්වා.

එයාලා කියන විදියට දරුවා මැරුණා නම් දරුවාගේ මිනිය හරි දෙන්න පුළුවන්නේ පෙන්නන්න පුළුවන්නේ. අපි අධිකරණ නියෝගයක් ගත්තට පස්සේ තමයි මිනියක් අපිට පෙන්නුවේ. ඒ දරුවා කාගෙද කියලා මම දන්නෙ නැහැ. ඒ නිසා අධිකරණය මාර්ගයෙන් ඩී එන් ඒ පරීක්ෂණයක් සඳහා  දාලා තියෙන්නේ. මැරිච්ච දරුවකුටවත් නිදහසක් නැහැ. මිනිය මට දුන්නා නම් මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යන්නේ නැහැ. මම මුකුත් කිව්වේ නැහැ. මම ඉල්ලුවේ මගේ දරුවගේ මිනිය විතරයි. මට සාධාරණයක් ඉටුකර දෙන්න. ඇය ඉකී ගසමින් කියන්නට වූවාය.ඇයගේ ස්වාමිපුරුෂයා වූ සජිත් චතුර (27) මෙසේ හඬ අවදි කළේය.

ඉකුත් 22 දින මම වැඩට ගිහින් හිටියේ. මට කෝල් එකක් ආවා අම්මගෙන් දරුවා රෝහල් ගත කළා එන්න කියලා. මම රෝහලට යන විට දොළහ පමණ වුණා.

ඒ වෙලාවේ වාට්ටුවේ හිටපු ඩොක්ටර් කිව්වා දරුවාගේ අදහස අත්හැර ගන්න. වෙන දරුවෙකු ගැන ප්ලෑන් කරමු. අපි වෙන දරුවෙකුට යමු මේ දරුවා අත්හරින්න මම ඇහුව ඩොක්ට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. දරුවාගේ වර්ධනය අඩු නිසා අඩුපාඩුවක් තියෙනවා. හාට් එක නැවතිලා තියෙන්නේ. දැන් අම්මා බේරගන්න උත්සාහ කරමු කියලා. දරුව එළියට ගන්න බෙහෙත් දීලා තිබුණා. 24  අලුයම 2:41 දරුවා ලැබිලා තිබුණා. ඒ වෙලාවේ ඩොක්ටර් කියලා තිබුණේ දරුවා මිය ගිහිල්ලා කියලා. වයිෆ්ගෙන් අස්සනක් අරගෙන තිබුණා.

24 වාට්ටුවට ගිහින් දරුවා බලන්න ඕන කියලා කිව්වට පසුව වාට්ටුවේ මිස්ලා කිව්වේ පල්ලෙහාට ගිහින් බලන්න කියලා. පසුව කිව්වා මාතර රේජිස්ට්‍රාර් ළඟට ගිහින් රේජිස්ට්‍රාර් කරලා මාතර නගර සභාවට ගිහින් භූමදාන කටයුතු සඳහා ඉඩක් වෙන් කර ගෙන එන්න කියලා. ඉන් පස්සේ මම ආවා මට දරුවා බලන්න ඕන කියලා කිව්වා. දරුවගේ තාත්තා හැටියට ඊට පස්සේ කට්ටිය කිවා දරුවා පෙන්වන්න ලිහ ලිහ ඉන්න වෙලාවක් නැහැ කියලා හෙට ගෙනියනවනේ එහෙම බලා ගන්න කිව්වා. 24 දින ඔක්කොම වැඩ ටික කරලා 25 දින දරුවාගේ අවසන් කටයුතු කරන්න දරුවා මට දෙන්න කියලා මම කිව්වා. අවශ්‍ය ලිය කියවිලි දුන්නා. 25 ඇවිත් දරුවා ඉල්ලන විට එයාලා කියනවා.

දරුවා නැහැ කියලා මම අහන විට එයාලා කියනවා භූමදාන කටයුතු සඳහා පී.එච්. අයි මහත්තයා අරගෙන ගියා කියලා. ඊට පස්සේ කියනවා මෝචරියට දැම්මා කියලා. මං ඊට පස්සේ ඇහුවා ඉඩක් වෙන් කරගෙන එන්න කියලා මෙහෙම කරාම හරිද? කියලා.

දැන් ගෙනිහින් භූමදාන කටයුතු කරලා ඉවරයි. එදා බහින් බස්වීමක් වුණා. පසුව පොලිසියෙන් ආව. ඇවිත් උපදෙස් දුන්නා නීතිය ක්‍රියාත්මක කරන්න නම් පොලිසියට පැමිණිලි කරන්න එපා. කොළඹ සිට මරණයක් එනවා කියලා. ඒ අනුව රෝහලේ බලධාරීන් විසින් විටින් විට පළ කළ අදහස් මත අපිට සැකයක් ඇතිවුණා. දැනට අධිකරණයේ නියෝග මත ඩීඑන්ඒ පරීක්ෂණයක් සිදු කරන්න නියමිතයි. ඒ අනුව අපි සාධාරණත්වය බලාපොරොත්තු වෙනවා.

කොටවිල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඊයේ (28) නිවාඩු ලැබ සිටි බැවින් වැඩ  බලන ස්ථානාධිපතිවරයාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ මේ පිළිබඳව උසස් නිලධාරියෙකුගෙන් තොරතුරු ලබා ගන්නා ලෙසය. මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් නව රෝහලේ අධ්‍යක්ෂ උපාලි කරුණාරත්න මහතාගෙන් දුරකථනය – ඔස්සේ කළ විමසීමක දී මෙසේ පැවසීය.මියගිය බිලිඳා ඉවත් කොට මවගේ ජීවිතය බේරා ගැනීම ප්‍රමුඛ කාර්ය වුණා. එම බිලිඳා මියගොස් තිබු බව මව පිළිඅරගෙන තිබුණා. ඒ බවට ලිඛිතව තිබෙනවා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පොලිස් දෙපාර්තමේන්තුවෙන්, සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන්, සහ අධිකරණය මගින් පරීක්ෂණයක් සිදුවෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: