hit counter

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 11, පෙ.ව. 12:04



මේ අවුරුද්ද බිමල් ජයකොඩිගෙ !

තිරගත වෙමින් පවතින සහ තිරගත වීමට නියමිත සිනමාපට දිහා බැලුවාම, කවුරුත් ඒ කතාවට එකඟ වන බව විශ්වාසයි.

එකිනෙකට වෙනස් වූ චරිත එක්ක රිදී තිරයට ගොඩවෙන බිමල් ජයකොඩි, මේ මොහොත වෙද්දිත් රසික සමූහයා අතර ඉහළින්ම කතාබහට ලක්වෙන මාතෘකාවක් බවට පත්වෙලා.

ඒ විශේෂයෙන්ම ”ෆාදර්” ”ධර්මයුද්ධය 2” චිත්‍රපට තුළින් ඔහු පෙන්වන රංගන ප්‍රතිභාව එක්ක.

රංගන ශිල්පියෙක් හැටියට කාටත් හුරුපුරුදු බිමල් ජයකොඩි, ගායකයෙක් ලෙසිනුත් රසික හදවත්වලට සමීප වන කාලයකි මේ.

”ධර්මයුද්ධය 2” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය ලෙසින් සේ ම, ඊට ඔහු චිත්‍රපට පසුබිම් ගායනයෙන් ද එක්වනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිරියේදී බිමල් ජයකොඩි නම් ගායන ශිල්පියා ඔබට සමීප වීමට ඇති ඉඩ බොහොම වැඩියි.

කලාව ඇතුළෙ කාලයක් තිස්සෙ මෙයාකාරයෙන් කතාබහට ලක්වන ඔහු, දේශපාලන පවුල් පසුබිමකින් පැවත එන විත්තිය බොහෝදෙනා නොදන්නවාට සැක නෑ.

ඊට හේතුව දේශපාලන කතා පසෙකලා, බිමල් ජයකොඩි නම් රංගන ශිල්පියා ඉස්මතු වීම.

ඔහු කියන හැටියට, තමන් දවසක රටේ දන්නා කියන චරිතයක් බවට පත්වෙන බවට යම් යම් අනාවැකිත් පළවෙලා තිබෙනවා.

ඉතින්, බිමල් ජයකොඩිගෙ පියා වන කමල් ජයකොඩි නම් හිතලා තියෙන්නෙ පුතා දේශපාලනය තෝරාගනිවී කියලා….

”මගේ ආච්චි මම පොඩි කාලේ මම කරගන්න සමහර වැඩ නිසා, කේන්දර බලපු සාස්තර අහපු, ඒ වගේම අපල කියපු කාලයට විවිධ දේවල් කරපු කාල වකවානු තිබිලා තියෙනවා.

ඔය අතරේ ඉතින් කවදා හරි මේ රටේ දන්නා කියන චරිතයක් බවට පත්වෙන බව කියලා තිබුණු අවස්ථා තිබුණා.

හැබැයි ඒ මොන විදියට ද කියන එක ගැන කාටවත් අවබෝධයක් තිබුණේ නෑ.

මගේ තාත්තා නම් හිතුවේ එයා වගේ මමත් දේශපාලනය කරයි කියලා.

මොකද මගේ තාත්තා පූර්ණ කාලීනව දේශපාලනය කළේ. තාත්තා කමල් ජයකොඩි.

හිටපු විපක්ෂ නායක කොටිකාවත්ත මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ….”

බිමල් ජයකොඩිට කාලෙන් කාලෙට ලැබුණු දේශපාලන ඇරයුම් ද නැතුවාම නෙවෙයි…

”අනන්තවත් ඇරයුම් ලැබුණා. තාත්තත් කාලයක් සංස්කෘතිකමය දේශපාලන ඒකකය තුළ තාත්තාගෙන් පසුව ලොකු පුතාත් දේශපාලනය කළ යුතුයි කියන තැන හිටියා.

හැබැයි තාත්තම එක්තරා තැනකදී මට කිව්වා, නැහැ උඹ මේකට එන්නවත් හිතන්න එපා.. උඹ ඉන්න තැන හරි කියන එක.

ඊට පසුව එක එක කාල වකවානුවලදී ආව දේශපාලන රැළි එක්ක මටත් ආරාධනා ලැබුණා. මට හැබැයි ටිකක් දුර පෙනුණ නිසා ,ඉතාම ගෞරවාන්විතව ඒ දේවල් බැහැර කරලා ,ඒ මාරාන්තික කඩඉම් පසුකරගෙන ආවා…”

උපුටාගැනීම : පිනිපලස





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: