hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 17, පෙ.ව. 5:40



ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ඈශ්ටන් ඒගර් සහ ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධය පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කර තිබෙනවා.

ඔහුගේ මව ශ්‍රී ලාංකිකයෙකු වන අතර සමාජ මාධ්‍ය තුළ සටහන් වී තිබුනේ ඔහු ඇතැම් අවස්ථාවල පිරිත් නූලක් පැළඳ ක්‍රීඩා කරන බවයි.

ඔහු පිළිබඳව ක්‍රිකට් රසිකයෙකු සමාජ මාධ්‍යයේ තබා තිබූ සටහනක් පහතින් ,

මේ දින වල ශ්‍රී ලංකාවෙ පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන අඩි 06 යි අඟල් 02 ක් උස වමතින් දඟ පන්දු යවන කඩවසම් තට්ට යෞවනයා සැමටම මතක ඇතුවාට සැක නැත.

ඈශ්ටන් ඒගර් අවසන් වරට පැවැත් වූ T -20 තරඟාවලියෙ ලෝක ශූරයා වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමෙද සාමාජිකයෙකි.

ඒගර් මේ දක්වා ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ටෙස්ට් තරඟ 04 කට එක්දින තරඟ 15 කට සහ T – 20 තරඟ 46 කට ක්‍රීඩා කර ඇති අතර ටෙස්ට් ලකුණු 410 ක්, එක් දින ලකුණු 694 ක් සහ 20-20 ලකුණු 1048 ක් ලබා ඇත. පිලිවෙලින් කඩුලු 9, 14, 47 ක්ද ලබා ඇත.

1993 ඔක්තෝබර් 14 ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ඉපදුනු මෙම ක්‍රීඩකයා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති අයෙක් බව ඔබ දන්නවාද..?

මොහුගෙ මව වන සෝනීයා හේවාවිස්ස ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු සමඟ විවාහ වන අතර එම විවාහයෙන් ඇය පුතුන් තිදෙනෙකු ලබනවා. ” ඒගර් ” ඇයගෙ වැඩිමහල් පුතණුවන්ය.

1940 දශකයෙ හේවාවිස්ස යන නම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් වල මුව මුව රැව් දෙන නාමයකි. සෝනියා හේවාවිස්සගෙ පියා වූ ” නාලක හේවාවිස්ස ” 48/49 වසර වලදි මහනුවර ධර්මරාජ විද්‍යාලයයේ ක්‍රිකට් තරුවක් විය. 

අදටත් ධර්මරාජ කිංස්වුඩ් මහා ක්‍රිකට් තරඟාවලිය හා සමාන්තරව පැවැත්වෙන ආදි ශිෂ්‍ය තරඟයේ හොඳම පිතිකරුට හිමි සම්මානය පිරිනමන්නෙ මේ ඈශ්ටන් ඒගර් ගෙ සීයා වූ නාලක හේවාවිස්ස නමිනි..

70 දශකයෙ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ නාලක හේවාවිස්ස 2011 දි එහිදි මිය ගියේය.

අද දිනයෙ ආරම්භ වන  ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියානු එක් දින ක්‍රිකට් තරඟයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දළදා මාලිගාවෙ වැඳපුදා ගැනීමට ගොස් සිටි අතර ඒගර් ද ඔවුන් සමග එකතු විය.