hit counter

2025 පෙබරවාරි මස 05 වන බදාදා

2022 අගෝස්‍තු 12, ප.ව. 4:18



දින 15ක් වයසැති බිලිඳු දරුවෙකු දෙබරවැව රෝහලේ වෛද්‍යවරයකුගේ නොසැලකිල්ලෙන් මිය ගිය බවට දරුවාගේ පියා විසින් තිස්සමහාරාම පොලීසියට පෙරේදා (10) පැමිණිලි කර තිබෙනවා.

මෙලෙස මියගියේ දින 15ක් වයසැති පිරිමි දරුවෙක්.

දරුවාගේ හදිසි මියයෑම සම්බන්ධයෙන් දරුවාගේ මව වන මෙ‍රෙන්චිගේ දිලක්ෂි හේමමාලී මෙලෙස පැවසුවා.

“දරුවා දෙබරවැව රෝහලට ඇතුළක් කළාට පස්සේ නර්ස් කෙනෙක් ඇවිත් බෙහෙත් තුනක් දරුවාට විද්දා.මං නර්ස්ගෙන් ඇහුවා මොකද්ද මිස් බෙහෙත් තුනක් විද්දේ කියලා.ඒ වෙලාවේ නර්ස් කිව්වා අම්මේ බෙහෙත් දෙකයි විද්දේ.අනිත් එක වතුර එකක් විද්දේ කිව්වා. කොහොම හරි ඒ බෙහෙත් එක විදලා වැඩි වෙලාවක් ගියේ නෑ. බෙහෙත් විද්ද අත නිල් පාට වෙන්න ගත්තා.ටික වෙලාවකින් දරුවගේ මුළු ඇඟම නිල් පාට වේගෙන දරුවගේ ඇස් උඩ ගියා. මම හයියෙන් කෑ ගහලා කිව්වා. මගේ දරුවට මොකද්ද වෙනවා කියලා. එතකොට එතැනට ආව දොස්තර මහත්තයා මගෙන් ඇහුවා කිරි දුන්නද දරුවට කියලා.මම කිව්වා කිරි දුන්නේ නෑ කියලා. පස්සේ වෛද්‍යවරු දරුවා වෙනම ඇඳක තියලා කෘත්‍රිම ශ්වසනය දුන්නා. දරුවට ඒ වෙනකොටත් හොඳටම අමාරුයි. පස්සේ ඇම්බියුලන්ස් එකක් දමලා දරුවා එදාම රෑ හම්බන්තොට මහ රෝහලට යැව්වා. එහිදි වෛද්‍යවරු කිව්වා ලෙඩා බලන්න බෑ කියලා.”

“මම අඩ අඩා මොනවා හරි කරන්නකෝ කීවා.මගේ දරුවා බේරා දෙන්න කියා ඇඩුවා. ඊට පස්සේ හම්බන්තොට දොස්තර මහත්තයලා දරුවා රෝහලට අරගෙන ප්‍රතිකාර කළා.ඒත් දරුවට සනීපයක් තිබුණේ නෑ. ඒ නිසා පසුදින දරුවා හම්බන්තොට මහ රෝහලේ සිට කරාපිටිය ශික්ෂණ රෝහලට මාරු කර යැවුවා.නමුත් මට මගේ දරුවා බේරා ගන්න බැරි වුණා.මගේ දරුවා මරා ගත්තේ දෙබරවැව රෝහලේ දොස්තර මහත්තයයි.දරුවට ප්‍රතිකාර කිරීමේදි ඒ දොස්තර මහත්තයා කිසිම සැලකිල්ලක් දැක්වූයේ නෑ.මට මගේ දරුවා නැති වුණා. කිසිදු අම්මා කෙනෙකුට මේ වගේ විපත්ති වෙන්න දෙන්න එපා. මොකද මම දන්නවා මගේ දරුවට කිසිදු මරණාසන්න ලෙඩක් තිබුණේ නෑ කියලා.අතේ ආව පුංචි බිබිලි කීපයකට බෙහෙත් ගන්නයි මං ඉස්පිරිතාලෙට ගියේ.එහිදී තමයි අපට මේ අවාසනාවන්ත සිදුවීම වුණේ. නොසැලකිල්ලෙන් රාජකාරි කළ මේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතුයි” දරුවාගේ මව හඩා වැලපෙමින් සඳහන් කළා.