hit counter

2024 දෙසැම්‍බර් මස 26 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02



නෙළුම් කුලුනෙන් පැන පසුගියදා සියදිවි හානි කරගත් පාසැල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු පැතිර යන බව ඇයගේ මව්පියන් සඳහන් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දැරියගේ මව්පියන් සඳහන් කර ඇත්තේ පාසැලේ ඇතැම් ගුරුවරුන්ගේ සහ ඇතැම් මව්පියන්ගේ චෝදනා හා කටකතා හමුවේ සිය දියණිය දැඩි පීඩාකාරී ජීවිතයක් ගත කළ බවයි.

කොළඹ ජාත්‍යන්තර පාසලක 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ රධ්‍යා ගුණසේකර නම් 15 හැවිරිදි සිසුවිය නෙළුම් කුලුනෙන් පැන දිවි නසාගත්තේ පසුගිය 07 වැනිදායි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විවිධ තොරතුරු පැතිර ගිය අතර ඇගේ මව්පියන් ප්‍රසිද්ධ පුවත්පතකට සිය දියණිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වුණේ වීඩියෝ ක්‍රීඩාවල නිරතවීම, දෙමාපිය පීඩනය, හිරිහැරවලට ලක්වීම සහ මත්ද්‍රව්‍ය භාවිතය යන කරුණු සිය දියණියගේ මරණය පිළිබඳ නිගමනයකට එළඹීමට ඇතැමුන් යොදාගෙන තිබුණ ද ඒවා සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ අසත්‍ය කරුණු බවයි.

පසුගියදා අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන සියදිවි හානිකරගත් සිය මිතුරන් දෙදෙනා සම්බන්ධයෙන් තම දියණිය මහත් කනගාටුවෙන් සිටි බව අදාළ නිවේදනයේ සඳහන්.

ඉන් ඇය මුදා ගැනීම සඳහා විශේෂඥ සහාය ලබාගත් බවත් ඇයව යළි නිසි මාර්ගයට රැගෙන එමින් සිටි බවත් මව්පියන් පවසනවා.

කෙසේවෙතත් එවැනි පසුබිමක ඇයගේ පාසැලේ ඇතැම් ගුරුවරුන් සහ මව්පියන් අසත්‍ය කටකතා පැතිරවීම හේතුවෙන් තම දියණිය පීඩාවට පත්ව සිටි බව එම නිවේදනයේ සඳහන්.

අල්ටෙයාර් ගොඩනැගිල්ලෙන් පැන දිවි නසාගැනීමට පෙර ඔවුන් එහි සිටින බවට කල්තියාම තම දියණිය දැන සිටි බවටත්, එම තොරතුරු සැඟවීමෙන් ඇය එම මරණවලට වගකිව යුතු බවටත් ඇතැම් ගුරුවරුන් සහ මව්පියන් කටකතා පතුරුවා තිබූ බවයි මව්පියන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් සිය දියණියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගතයුතු බවටද ඇතැම් මව්පියන් පවසා තිබූ අතර පාසැලේ අනෙක් දරුවන් සිය දියණියගෙන් ඈත් කර තබන ලෙසට ද ඇතැම් මව්පියන් මත පළ කර තිබූ බව එම නිවේදනයේ සඳහන්.

මෙම කටකතා හේතුවෙන් සිය දියණියට ඉතිරිව සිටි මිතුරන් කිහිප දෙනාද අහිමි වූ අතර ඇයට එය දැඩි ලෙස බලපා තිබූ මව්පියන් පවසනවා.

මෙවන් පසුබිමක සිය දියණියව වෙනත් පාසලකට මාරු කර යැවීමට උත්සාහ කළ ද ඇය ඊට එකඟ නොවූ බවත්, මේ සියල්ල වරදවා වටහාගැනීමක් බැවින් ඉක්මනින්ම තත්ත්වය සමනය වනු ඇති බවත් ඇය විශ්වාස කළ බව එම නිවේදනයේ දැක්වෙනවා.

රධ්‍යා කරුණාවන්ත දරුවෙක් බව පෙන්වා දෙන ඇයගේ මව්පියන් සඳහන් කර ඇත්තේ සෑම සෙනසුරාදාවකම ඇය විහාරමහාදේවි උද්‍යානය අවට සිටින අසරණ ජනතාවට ආහාරපානාදියෙන් සංග්‍රහ කිරීමට ද පුරුදු වී සිටි බවයි.

කෙසේවෙතත් අවසානයේ සිය දියණිය මතට පැටවූ වරදකාරී හැඟීම් ඇයට දරාගත නොහැකි මට්ටමට ළඟා වූ බව මව්පියන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වනවා.

රධ්‍යාගේ පාසලේ හෝ වෙනත් කිසිම දරුවෙකු මෙවැනි ඉරණමකට මුහුණ නොදිය යුතු බවත්, වැඩිහිටියන්ගේ වගකීම් විරහිත කටකතා මගින් දරුවන්ට සිදුවන දරුණු හානිය පිළිබඳව සමාජය හොඳින් දැනුවත් වීමට මෙම ප්‍රකාශය උපකාරී වනු ඇති බවත් මව්පියන් නිවේදනයෙන් පෙන්වා දී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: