hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 01, ප.ව. 9:28



ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගය පවත්වන අතරවාරයේ  ගාල්ල නීතිඥ සංගමයේ සාමාජිකයින් පිරිසක් විසින් අද ගාල්ල කොටු බැම්ම මත සිදු කිරීමට ගිය සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට පොලිසිය අවහිරි කිරීමත් සමග ඉතා උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

ගාලු කොටුවට ඇතුළු වන ප්‍රධාන මාර්ග යකඩ බාධක යොදා වසා දමා තිබූ අතර නීතිඥයින් පිරිසට ගාලු කොටුවට ප්‍රවේශ වීම වළක්වා තිබුණා.

මඟ අහුරා මාර්ග බාධක දමා ඇත්තේ ආක්ෂක විධිවිධාන මත බව පොලිසිය සඳහන් කර තිබෙනවා.

නීතිඥවරු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරනු විනා පොලිස් ලොක්කෙකුට අවශ්‍ය පරිදි නීති හැදීමට නොහැකි බව පැවසුවා.

ඔවුන් සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනතාවගේ භාෂණයේ නිදහස් සහ සංචරණය කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට පොලිසිය නීතියෙන් බැඳී ඇති බවයි.

පොලිස් නිලධාරීන්ගේ යට ඇඳුම හැරෙන්නට අනෙක් නිල ඇඳුම් සහ සියලු පහසුකම් ලබා දෙනුයේ මහජනතාවගේ බදු මුදලින් බවත් පොලිසියේ මූලික රාජකාරිය විය යුත්තේ මහජනතාව ආරක්ෂා කිරීම මිසක් පවතින රජය හෝ රාජපක්ෂ පවුල ආරක්ෂා කිරීම නොවන බවත් නීතිඥවරු පෙන්වා දුන්නා.

අධිකරණ නියෝගයක් තිබේදැයි විමසූ විට පොලිසිය නිරුත්තර වී තිබෙනවා.