hit counter

2024 මැයි මස 16 වන බ්‍රහස්පතින්දා

2022 මැයි 12, ප.ව. 2:49



පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර මහතා සිය නිවස ගිනි ගැනීම පිළිබඳ කනගාටුව පළ කර ෆේස්බුක් පිටුවේ පණිවිඩයක් තබා තිබෙනවා.

වංචාවෙන් තොර ව අවංක ව හම්බ කරගත් මුදල් පමණක් තමාට ඇති බව යි ඔහු පවසන්නේ.

ඔහු කුරුණෑගල වියත්මඟ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පුද්ගලයෙක්.

ගුණපාල රත්නසේකර මහතා තැබූ සටහනට ප්‍රවීණ දේශක අමරනාත් බටගොඩ මහතා පිළිතුරු ලබා දී තිබෙනවා.

අමරනාත් බටගොඩ මහතා සිය මුහුණුපොතේ තැබූ සටහන පහතින්,

පාර්ලිමේන්තු මංත්‍රී සරසවි කතිකාචාර්ය රත්නසේකර සර් වෙත ලියමි...

මගේ ජීවිතයේ මෙවැනි ලිපියක් ලියන පළමු වන වතාව. අළුත් රටක් ගොඩනැගීමට නම් අපේ ආකල්ප, අපේ මිණුම්දඩු, අපේ වටිනාකම් වෙනස් විය යුතුමයි. සරවම අප වෙනස් විය යුතුමයි. ඒ නිසා පමණක්ම ලියමි. ඔබ මාව නිවැරදිව තේරුම් ගනු ඇතැයි සිතමි.

රත්නසේකර සර්,

මේ මෙහොතේ මෙය ලිවීමට වඩාත්ම සුදුසු පුද්ගලයා මම යැයි සිතමි. කාලයක සිට ඇයි හොඳයිකං නොමැති වුවත් අපි එකම වෘත්තියක බොහෝ කාලයක් සේවය කරන වෘත්තීය සගයන් වෙමු.

ඊයේ ඔබේ කුරුණැගල පක්ෂ කාර්යාලයට ගිනි තබා තිබෙන බව ආරංචි උනා. ගිනි ගෙන දැවෙන ඡයාරූපයක් සහිතව ඔබ ඉතා සංවේදී අයුරින් ෆේස්බුක් සටහනක් තබා තිබෙන අයුරු මා දුටුවා. ඒ සටහන මාව අතීතයට ගෙනගොස් නැවත වර්තමානයට ⁣ගෙන ආවා. බොහෝ දෑ සිහිපත් කර දුන්නා.

ඔබ තැබූ සටහනේ සමහර තැන් වැරදියි. ඒවා නිවැරදි කළ යුතුයි.

මුලින්ම ඔබ කියා තිබෙනවා ඔබ දේෂපාලනයෙන් සතයක්වත් හම්බ නොකරපු බව. ඒක මෙන්න මෙහෙම නිවැරදි වෙන්න ඕන.

” මට දේෂපාලනයෙන් සතයක්වත් හම්බ කරන්න වෙලාවක් ආවෙ නෑ. මම ගිහින් ටික කාලයයි.”

එහෙම නේද හරි.

ඔබත් සමග වසර 25 ක් එකම වෘත්තියේ නියැළුනු ගුරුවරයෙකු වශයෙන් ඔබේ සිතුවිලි හා ක්‍රියාකාරකම් ගැන මට හොඳ අවබෝධයක් තිබෙනවා. ප්‍රතිලාභයක් අපේක්ෂා නොකර ආයෝජනයක් කරන්නේ නෑ කියල ඔබ, ඔබේ පංති කාමරය තුළ උගන්වනවා. විශේෂයෙන්ම ධනයට කෑදර ඔබ වැනි අය මූල්‍ය ප්‍රතිලාභ අපේක්ෂා කරනවාමයි. මෙතන ප්‍රශ්නෙ උනේ ආයෝජනයේ ප්‍රතිලාභ ලැබීමට කාලය ප්‍රමාණවත් නොවීම නේද?

අපට ලැබුණු ආරංචි වලට අනුව පසුගිය දිනවල ඔබ, ඔබේ පංතියට ආවෙ ගියේ පාර්ලිමේන්තු නිල රථයෙන්. එහෙම නේද? ඒවත් හම්බ කෙරිලි තමයි. මහජන මුදල් ගසාකෑම් තමයි. හැමෝම පටන් ගන්නෙ පොඩියට. සුළු පරිමාණයෙන්. පස්සෙ තමයි මහා පරිමාණ වෙන්නේ.

ආයෝජනය ගැන කියන කොට මට මතක් උනේ ඔබේ පංසල් හැදිලි හා ආගම් ඇදහීම ගැන. ඔබ ඒවා ඉතා සූක්ෂමව කළා. ඔබ ඒවට දක්ෂයි. ඇත්තටම ඒක ලොකු ආයෝජනයක්. හැබැයි ඔබේ වැඩ වල නං මට පෙනුන දහමක් නෑ. ඔබේ පංතියට හෑන්ඩ් බිල් බෙදුව කියල ගොඩක් ගුරුවරුන්ව ඔබ උසාවි ගෙනිච්චා. මටත් පැය බාගයක් කූඩුවේ ලගින්න උනා දඩ මුදල ගෙවල එනකං. අන්තිමට ඒ සිදුවීමෙන් පස්සෙ මං හෑන්ඩ් බිල් බෙදන එක නැවැත්තුවා. ඔබට ඕන උනේ ඔබ විතරක්ම රැකෙන්න. මම විතරයි ඉන්න ඕන, එක ආයතනයයි තියෙන්න ඕන කියන තෘෂ්ණාධික මානසික මට්ටමක තමයි ඔබ සිටියේ. ඔබේ රුපියල වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කිරීමට ඔබ පසුබට උනේ නෑ. කියන්න දේවල් නං එමටයි. දැනට මේ ඇති. හැබැයි එක ඉල්ලීමක් කරන්න ඕන. සිල් රෙදි පොරවගෙන ලෝකෙට හොඳ බව පෙන්නලා මිනිස්සු නොමග යවන්නෙ නැතුව දැං වත් බෞද්ධ දර්ශනය පිළිපඳින්න උත්සාහ ගන්න.

මම දැං යනවා ඔබේ ෆේස්බුක් සටහනේ දෙවන ඡේදයට. ඔබ එහි මෙන්න මෙහෙම කියනවා.

” දිවා රෑ නොලබා දැනුම බෙදමින් සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබේ..”

මම කැමතියි මේක කොටස් දෙකකට කඩන්න. ” දිවා රෑ නොබලා දැනුම බෙදමින්…” කියන කොටස විතරක් ගමු. මේක නං 100% ක්ම ඇත්ත. ගුරුවරයෙකු වශයෙන් ඔ⁣බ සතු දැනුම හා කුසලතා ගැන මම ඔබට ගරු කරනවා. ඔබේ දැනුමෙන්, ඔබේ හැකියාවෙන් ඔබ බොහෝ දරුවන්ට ජීවිතේ ඉහලටම යන්න මග පෙන්නුවා. ඔබේ ඉගැන්වීම් වපසරිය තුළ මා ඔබව ඉහළින්ම තබනවා. ඔබ ගුරු භූමිකාව තුළ විතරක්ම හිටියනං මම මේ විවේචනය කවදාවත්ම කරන්නේ නෑ. මොකද එය සදාචාර සම්පන්න නෑ. නමුත් ඔබ දැං මන්ත්‍රී වරයෙක්. පොදු ජනතාවගේ සේවකයෙක්. එතකොට ඔබව විවේචනය කිරීමේ අයිතියක් මහජනතාවට තිබෙනවා. ඔබ කරන කපටිකම්, නොමග යැවීම් ගැන දැන ගැනීමේ අයිතියක් මහජනතාවට තිබෙනවා. ඔබ පංති කාමරයට ගැලපෙන නමුත් පාර්ලිමේන්තුවට ගැලපෙන්නේ නෑ. පෞද්ගලික සේවයට හැර පොදු ජන සේවයට ගැලපෙන්නේ නෑ.

අපි ඊළගට බලමු ⁣ඡේදයේ අනෙක් කොටස ගැන. ” සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබේ..” යැයි ඔබ කියනවා. කාට හරි හිතෙන්න පුළුවන් ඔබේ සේසතම දවා අළු වී ගිහින් කියල. ඔබ මේක ලියල තියෙන්නෙ අනුකම්පාව දිනාගන්න. ඔබ රුපියල් 100ක් හම්බ කළා නං රුපියලක් විනාශ වෙන්න ඇති. නමුත් ඔබ කැමතියි රුපියලටත් හඬා වැටෙන්න. සියල්ල ඉවරයි කියල වැලපෙන්න. ඒක ආකර්ෂණීයයි.

⁣මම වඩා කැමතියි මේ දෙවෙනි කොටස අන්තිම කොටසට එකතු කරන්න. මෙන්න මේ විදියට.

” සොයා ගත් දෑ ගිනි ගනිමින් තිබෙන නිසා නැවත දේෂපාලනයට නොඑමි.”

ඔබ ගැන හිතනකොට මේක තමයි නියම ඇත්ත. ඔබේ මුළු දේෂපාලන ආයෝජනයම ප්‍රතිලාභ රහිතව විනාශ උනා. ඒ වගේම ඔබ හොඳින්ම දන්නවා නැවත ඔබට දේෂපාලන ගමනක් නොමැති බව. කිව්වත් නැතත් ආයෝජනයට ප්‍රතිලාභ නොලබාම අකමැත්තෙන් හරි සමුගන්න වෙන බව. එහෙම නේද? ඒක ඔබට දරාගන්න අමාරුයි. ගිනි දැල් අතරින් ඔබට පේනවා ඔබේ ගමන අවසන් බව. ඔබට ඕන නෑ ඔබේ දේවල් නැති කරගෙන දේෂපාලනය කරන්න. මොකද මේක හම්බ කරන්න ආපු ගමනක් මිසක් විනාස කර ගන්න ආපු ගමනක් නෙවෙයි. එහෙම බලද්දි ඇත්තටම දුකයි තමයි.

ඔබට මෙන්න මේ විදියට කියවුනේ නැත්තෙ ඇයිදැයි මා නිතරම කල්පනා කරනවා.

” ගෝල්ෆේස් එකේ කුටි කාපු දරුවො අතරෙ මගෙන් ඉගෙන ගත්තු දරුවොත් ඉන්නවා. අපි මේ දරුවන්ගෙ අනාගතේ විනාශ කළා. මට මේව තවත් දරාගෙන ඉන්න බෑ. ඒ නිසා මම දේෂපාලනෙන් සමුගන්නවා..”

ඒ වචන මොන තරමි සුන්දරද. ඇත්තටම ඇයි ඔබ එහෙම කිව්වෙ නැත්තෙ. ඔබව පාර්ලිමේන්තු යැව්වෙ ඔබෙන් ඉගෙන ගත්තු දරුවන් සහ ඔවුන්ගේ පවුල් වල අය. ඔබට ලෙංගතු අය. එවැනි පිරිසක් බලා සිටියදී ඔබේ පක්ෂ කාර්යාලය ගිනි තැබීම ගැන ඇත්තටම ඔබ ලජ්ජා විය යුතුයි නේද? මම දන්නවා ඔබට එහෙම හිතෙන්නේ නෑ කියල. ඔබ සමාන්‍යයෙන් ලජ්ජාවක් නැති, සදාචාරයක් නැති කෙනෙක්.

ඔබේ දේෂපාලන ආගමනයත් වංචාකාරීයි. ඔබ ඇත්තටම බැසිල්ගේ මිනිහෙක්. හැබැයි ඔබ ඇඟව්වේ ගෝඨාභයගෙ කෙනෙක් විදියට. ඔබ බැසිල්ට හේත්තු වෙලා ඔබට මංත්‍රී ටිකට් එක ගන්න ගුරු සංගමයක් අටව ගත්තා. ඒක තනිකරම ඔබේ ගමන් මග ඉදිරියට ගෙන යාම සඳහාම ගොඩ නගා ගත් ප්‍රෝඩාකාරී ගුරු සංගමයක්. ගුරුවරුන්ගේ හෝ දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් තැනූවක් නෙවෙයි.

මම දන්නා තරමින් ගුරු සංගම් වලට මංත්‍රී ටිකට් දෙකක් හම්බ උනා. එකක් නුවර වසන්න යාපාටත් අනෙක ඔබටත් හම්බ උනා. නමුත් ඔබ මහජනතාවට ඇඟවූයේ ඔබ කුරුණෑගල වියත් මඟ නියෝජනය වශයෙන්. වියත් මග කණ්ඩායම හැදුවෙ ගෝඨාභය. ඔබට වියත් මගෙන් මංත්‍රී ටිකට් එකක් හම්බ උනේ නැතත්, ඔබ එහි සමාජිකයෙක් නොවුනත් ඔබ වාසිය ගන්න එය පාවිච්චි කළා. මොකද පසුගිය මැතිවරණයේදී මහජනතාව පෙහොට්ටුව වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළේ ගෝඨාභය නිසා. බැසිල් පස්සෙන් ගියත් ඔබ එය සඟවා කපටිකමට ගෝඨාගේ බව හඟවා ඡන්ද මංකොල්ල කෑවා.

වියත්මග ගැනත් යමක් කිව යුතුයි. ඔබ හිතනවද මේ දේෂපාලන මඩ ගොහොරුවේ උගත් බුද්ධිමත් මිනිසෙකුට අදීනව ගමනක් යා හැකි බව. හොඳ මිනිසුන්ට මේ ක්‍රමය තුළ පැවැත්මක් තිබෙන බව. නියම අවංක ප්‍රතිපත්ති ගරුක මිනිසුන් මේ ක්‍රමය තිබෙන තාක් දේෂපාලනයට එන්නෙ නෑ. වියත් මගෙන් පාර්ලිමේනතු ගියේ පාඩම් කරපු හොරු සෙට් එකක්. ඒක තමයි ඇත්ත. අද වියත්මග සිටින තැන තමයි එයට හොඳම සාක්ෂිය.

වියත් මග කතාවයි ඔබේ ගුරු ප්‍රතිරූපයයි නිසා ඡන්දෙන් දෙවෙනි හෝ තුන්වැනි තැනට එන්න ඔබට පුළුවන් උනා. මට ඒක හරියටම මතක නෑ. ඔබ ඒ වෙනුවෙන් එක් අවස්ථාවකදී හෝ ඔබේ මිනිසුන්ගේ මතය වෙනුවෙන් පෙනී සිටියාද? ජන මතය නියෝජනය කළාද? නෑ.. ඔබ කළේ ඒක නෙවෙයි. පාර්ලිමේන්තු ගිහිල්ලා රාජපක්ෂ පවුල වෙනුවෙන් සේවය කළා. විෂය ගිණුම්කරණය උනාට මොකද ජනධ්පතිගෙ, අගමැතිගෙ අයවැය විගනනය කරන්න ඕන නැහැ කියල අත එස්සුවා. කෝ ඔබ ඉගැන්වූ දැනුම. නිවටකමට එවා පාවා දුන්නා. ඇත්තටම ලැජ්ජයි. රාජපක්ෂලා වෙනුවෙන් ඕනම දේකට පෙනී ඉඳලා උගතුන් ⁣යනු අට පාස් මිනිසුන් වගේම ⁣පිට කොන්දක් නැති ජාතියක් යැයි සිතීමට සමාන්‍ය මහජනයාට ඉඩ සලසා දුන්නා. ජොන්ස්ටන්ලා සහ ඔබ අතර වෙනසක් සොයාගැනීමට පවා අපහසු උනා. හිරිකිතයනින් තොරව ඔවුන් සමග එකට වාඩි උනා. එකට කෑව බිව්වා. එකට මහජන දේපළ අවභාවිත කළා. ගුරුවරයෙකු ලෙස මඟපෙන්වා ගොඩනැගූ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට දේෂපාලඥයෙක් වශයෙන් දායක උනා. පංති කාමරය තුළින් ගොඩනැගූ දෙය පාර්ලිමේන්තුවෙන් විනාශ කළා.

තවත් කීමට බොහෝ දේ ඇතත් මෙතනින් නවතිමි. ඔබේ අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතමි.

මම,

අමරනාත් බටගොඩ.