hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 09, පෙ.ව. 10:15



අක්මා බද්ධය සඳහා මෙරටින් ඉන්දියාවට ගිය පුංචි දරුවෙක් සමග මවත්, පියත් මෙරට ඩොලර් අර්බුදය නිසා එම රෝහලට  අමතර මුදල් ප්‍රමාණයක් ගෙවා ගැනීමට නොහැකි වීම නිසා නැවත ලංකාවට පැමිණීමට නොහැකි ප්‍රශ්නයකට මුහුණ පා ඇතැයි වාර්තා වෙනවා.

මෙම මවගේත්, පියාගේත් අක්මා බද්ධය සඳහා ගිය සිඟිති දරුවාගේ විදෙස් ගමන් බලපත්‍ර එම පෞද්ගලික රෝහලේ කළමනාකාරීත්වය විසින් ලබා ගෙන තිබීම නිසා මෙම තත්ත්වය උදාවී ඇතැයි පවසනවා.

ඉබ්බාගමුව පන්නල මහගම ප්‍රදේශයේ පදිංචි අයි.ජි.ප්‍රියන්ත ලලිත් කුමාර මහතා,  ඒ.ජි.චිත්‍රාංගනී ප්‍රේමසිංහ මහත්මියත් තම සිඟිති දරුවාට දරුණු අක්මා රෝගයක් වැළඳ එය සුවකර ගැනීම සඳහා සිදු කරන සැත්කමකට මීට මාස කීපයකට ඉහතදී ඉන්දියාවේ පෞද්ගලික රෝහලකට ගොස්  ඇත්තේ මෙරට ජනතාවගෙන් එකතු කරගත් රුපියල් එක්කෝටි තිස්පන් ලක්ෂයක මුදලක් ද රැගෙන බව ඔවුන් පවසයි.

දිල්නෙත් දම්හිරු නැමැති පුතාගේ අක්මා බද්ධය සිදු කොට ඇත්තේ සිය මවගේ අක්මාවේ කොටසක් ද උපයෝගී කරගෙන බවද එමෙන්ම මේ වන විට දරුවා සුව අතට හැරී මවත් දරුවාත් තවමත් ප්‍රතිකාර ලබන තත්වයේ සිටින බව කියයි.

ලංකාවේ රැගෙන ගිය එක් කෝටි තිස්පන් ලක්ෂයක මුදල ඉන්දියාවේ චෙන්නායි පුද්ගලික රෝහලට ගෙවීම් සිදු කරද්දී මෙරට පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් එම මුදල ප්‍රමාණවත්වත් නොවී තවත් ඉන්දියන් රුපියල් හත්ලක්ෂ පනස් දහසක  පමණ හිගයක් පවතින බව රෝහලෙන් මෙම මවට සහ පියාටට දැනුම් දී තිබෙනවා.

අක්මා බද්ධය සාර්ථකව නිම කර ගත්තද ඔවුන් රෝහල ආසන්නයේම කුඩා කාමරයක් කුලියට ගෙන මේ වන විට එහි රැඳී සිටිනවා.

එම මුදල රෝහලට ගෙවන තුරු ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර තුනම එම රෝහල් කළමනාකාරීත්වය ලබාගෙන මුදල් ගෙවා නැවත ගමන් බලපත්‍ර ලබා ගන්නැයි ඔවුන්ට දැනුම් දීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පියා වන ලලිත් කුමාර මහතා පැවසුවා.

තමන් රැගෙන ගිය මුදල් සියල්ල අවසන් වී කාමරයෙ කුලිය ගෙවා ගැනීමට, ආහාර පාන සොයා ගැනීමට මෙන්ම දරුවාට මවට අවැසි අනෙකුත් අමතර ප්‍රතිකාර කර ගැනීමට පවා නොහැකි තත්ත්වයක පසුවන බව හෙතෙම සඳහන් කරයි.

කෙසේ වෙතත් රෝහලට ගෙවීම්ට ඇති මුදල තමන්ට ඉන්දියාවේ සිට සොයා ගැනීමට නොහැකි බවද තමන් මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් වසර ගණනාවක් තිස්සේ මහපාරේ ඇවිදීමින් තම දරුවා වෙනුවෙන් සොයාගත් බවද ඔහු කියයි.

කෙසේ හෝ තමන්ට දරුවාට සහ බිරිඳට නැවත ලංකාවට පැමිණීම සඳහා කුමන හෝ පහසුකමක් ලබා ගැනීමට රාජ්‍යතාන්ත්‍රික මැදිහත් වීමක් හෝ අඩුම තරමේ ඉන්දියන් රුපියල් හත් ලක්ෂ පනස්දහස ගෙවා ගැනීමට වැඩපිළිවෙළක් සකසා දෙන්නැයි ඔහු මෙරට ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටිනවා.