2024 සැප්තැම්බර් 12, පෙ.ව. 12:04
සමාජ මාධ්‍ය කලඹමින් මේ දිනවල සංසරණය වන අමුතු තාලයේ වීඩියෝවක් ගැන කාගේත් අවධානය යොමු වී තිබිණි. බැලූ බැල්මට එය විද්‍යාව පන්තියක දේශනයක් යැයි සිතුණ ද රංගන ශිල්පියකු විසින් එය පවත්වනු ලැබීම නිසාම ඒ ගැන සොයා බලන්නට සිතිණි. ඔහු මේ දිනවල අතිශයින් ජනප්‍රිය සිත නිදි නෑ ටෙලි නිර්මාණයේ විශ්වගේ භූමිකාවෙන් ඔබ හමුවට එන ඉෂාර වික්‍රමසිංහය.
වේදිකාවේ ද ඉතාම කාර්යබහුල ඔහු ඕනෑම රංගන ශිල්පියකු කළ චරිතයක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාවෙන් යුතු රංගන ශිල්පියෙකු ලෙස ද ක්ෂේත්රයේ ප්රකටය. ඔහු පුවත්පතක් සමඟ කතාබහට එක්වන්නේ නිරතුරුවම තම ගමනට ශක්තියක් වන ආදරණීය බිරිය ශෂිනි අනුපමා ද සමඟිනි.
ඉෂාර කියන්නෙ මේ දවස්වල වේදිකාවේ නිතරම දකින්න ලැබෙන චරිතයක්. මොකක්ද මේ, මේ දවස්වල සමාජ මාධ්‍ය කලඹන වීඩියෝව?
ඒක චරිත දිසානායක සර්ගේ රසායන විද්‍යාව පන්තියක පවත්වපු ආරාධිත දේශනයක්. අවුරුද්දට තුන් හතර වතාවක් විභාග තියල ඔහු ඒ දරුවන්ට සහතික, තෑගි වවුචර්, සම්මාන, ශිෂ්‍යත්ව පිරිනමන්නේ ආර්ටිස්ට් කෙනෙක්ගෙ අතින්. මේ සැරේ නුගේගොඩ ක්ලාස් දෙකකටයි ගම්පහ ක්ලාස් දෙකකටයි මට ආරාධනා ලැබුණා. ගම්පහ ක්ලාස් එකක කළ දේශනය තමයි වයිරල් වෙලා තියෙන්නෙ.
ඔබ අංශ දෙකකින් සරසවි වරම් ලැබූවෙක්. වෛද්‍ය විද්‍යාව තෝරගෙන වෛද්‍යවරයෙක් වෙන්න අවස්ථාව ලැබිලත් ඇයි කලාව තෝර ගත්තෙ?
මං සයන්ස් කළේ මගේ කැමැත්තට නිසා කොහොමහරි මට විශ්වවිද්‍යාලයට තේරීමේ ලියුම ලබාගන්නම ඕන වුණා. පළවෙනි අවුරුද්ද සාමාන්‍ය විදිහට පාස් වුණා. දෙවෙනි අවුරුද්දෙ ශිෂ්‍ය නායකයෙක් වෙලා පාසලේ අමතර වැඩ බදාගෙන පාඩම් කරගන්න බැරි වුණ නිසා මිස් කළා. තුන්වැනි අවුරුද්දත් කලා කටයුතු නිසා මිස් කළා. ඊළඟ අවුරුද්දෙ මේක නම් හරියන්නෙ නෑ කියල හිතලා මං මාතර යාළුවෙක්ගෙ ගෙදර නැවතිලා එහේ ක්ලාස් ගිහින් විභාගෙ ලියලා ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට තේරුණා. ඒත් ඒ වෙද්දි මං තේරුම් අරන් හිටියා මේ මං කැමති පාත් එක නෙවෙයි කියලා. තාම මං අවස්ථා දෙකයි නාස්ති කරගත්තේ. තව අවස්ථාවක් තියෙනවා. ඒත් ඒ වෙද්දි විභාගෙට තිබුණෙ මාස දෙකයි. කොහොමහරි ඒ මාස දෙකෙන් මං ආර්ට්ස් කරල හොඳින් පාස්වෙලා කැලණිය සරසවියට ඇතුළත් වෙලා නාට්‍ය හා රංග කලාව ශාස්ත්‍රවේදී විශේෂ උපාධිය ලබාගත්තා. අවුරුදු දෙකක් සහකාර කථිකාචාර්යවරයෙක් විදිහට වැඩ කළා. දැන් ඒකෙන් අයින් වෙලා බාහිර කථිකාචාර්යවරයෙක්, දේශකයෙක්, රංගන ශිල්පියෙක්, ගායකයෙක්, හඬකැවීම් ශිල්පියෙක් වෙලා නිදහස් කලාකරුවෙක් විදිහට වැඩ කරනවා. ඇත්තම කිව්වොත් අද මං මේ තත්ත්වෙ ඉන්නෙ මගේ මවුපියන්ට පින් සිද්ද වෙන්න. එයාල දැනන් හිටියා මං කවදාවත් වැරදි දේ කරන්නෙ නෑ කියලා. මං කරන හැමදේටම එයාලා නිදහස දුන්නා. තලංගම උතුර කොස්වත්ත එම්. ඩී. එච්. ජයවර්ධන මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය හදාරද්දිම මං ගෙදරට ඉලක්කයක් දුන්නා මං කොහොමහරි ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ලොකු ඉස්කෝලෙකට යනවා කියලා. කිව්ව වගේම මං රාජකීය විද්‍යාලයට ඇතුළත් වුණා. කලින් දවසෙ පාඩම් කරලා විභාගෙ පාස් වෙන ක්‍රමේට සා/ පෙළ A9ක් ගත්තා. උපන්ගෙයි බ්‍රයිටෙක් කියන සුදුසුකම මට තිබුණා කිව්වත් හරි.
ඔබ අද ඉන්න තත්ත්වයේ ගෞරවය හිමිවෙන්න ඕන ඔබේ මවුපියන්ට?
අනිවාර්යයෙන්ම. මං කරන හැමදේටම නිදහස දීල ඒ දිහා විමසිල්ලෙන් බලන් ඉඳීම තමයි ඔවුන් කළේ. මට ඉන්නෙ අක්කයි මල්ලියි. පුංචිම කාලෙ අම්මා මට ජිප්සිස්ලගෙ ලුණුදෙහි කැසට් එක දාල දුන්නම මං හරි ආසාවෙන් අහන් ඉන්නවලු. ඒ වගේම තාත්තා නන්දා මාලිනීගෙ හඳ මාමා කැසට් එක දාල දෙනවලු. ටිකක් ලොකු වුණහම මට මතකයි සුනිල් එදිරිසිංහ, එඩ්වඩ් ජයකොඩි වගේ ප්රවීණයන්ගේ සුබාවිත ගීත අහන්න දුන්නා. ඒ වගේම නරි බෑනා, යසයා සහ ලෙංචිනා, හිම කුමාරි වගේ වේදිකා නාට්‍ය බලන්න එක්ක ගියා. ඒ වගේ දේවල් ඇසුරු කිරීමෙන් තමයි සංවේදී මිනිසුන් බිහිවෙන්නේ. එහෙම නැත්නම් අනාගතේ යන්ත්‍ර ටිකක් තමයි බිහිවෙන්නේ.
ඔබ කලාවට පිවිසෙන්නේ ළමා වියේදිමයි?
ඔව්, මං කොළඹ රාජකීය විද්‍යාලයේ 6 වසරෙ ඉද්දි මගේ වාසනාවට සෞන්දර්ය විෂය උගන්වන්න හිටියෙ රත්නා ලාලනී ජයකොඩි මිස්. රත්නා මිස් මගේ දක්ෂතාව හඳුනගෙන ජයලත් මනෝරත්නයන්ට මාව හඳුන්වලා දුන්නා. ඒ ඔස්සේ 1999 ඔහුගේ තලමල පිපිලා වේදිකා නාට්‍යයේ සේතුගේ චරිතයෙන් මං රංගනයට පිවිසෙන්නේ ළමා නළුවෙක් විදිහට. 2024 අවුරුද්දට මගේ කලා දිවියට අවුරුදු 25ක් සම්පුර්ණ වෙනවා. මනෝරත්නයන්ගේම ගුරු තරුව, අන්දරේලා ලූෂන් බුලත්සිංහලගේ රතු හැට්ටකාරී ධර්මසිරි බණ්ඩාරනායකගේ ධවල භීෂණ, මකරාක්ෂ, බන්දුල විතානගේගේ රෝමය ගිනි ගනී, රාජිත දිසානායකගේ මට වෙඩි තියන්නැද්ද, සිහින හොරු අරන් උදයසිරි වික්‍රමරත්නගේ සුද්දෙක් ඔබ අමතයි, හරිම බඩු තුනක්, ගරු කටානායකතුමනි මේ වගේ වේදිකා නාට්‍ය 20කට විතර මේ වෙද්දි රංගනයෙන් දායක වෙලා තියෙනවා.
අද වෙද්දි ඔබ පුංචි තිරයේත් ජනප්‍රිය තරුවක්?
6 වසරෙදි මං ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවුණා වගේම 7 වසරෙදි කේ. බී. හේරත්ගේ කුරුලු පාළුව ඒකාංගික නාට්‍ය ඔස්සේ පුංචි තිරයට පිවිසෙන්නෙත් ළමා නළුවෙක් විදිහට. ඊළඟ අවුරුද්දේ දයාරත්න රටගෙදර සහ රංග බණ්ඩාරනායක අධ්‍යක්ෂණය කළ සිත නිවන කතා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවට සම්බන්ධ වුණා. රංග බණ්ඩාරනායකගේ උතුම් තෑග්ග ඒකාංගික ටෙලි නාට්‍යයට පළවෙනි රාජ්‍ය නාට්‍ය උලෙළේ හොඳම ළමා නළුවාට නිර්දේශ වුණා. පාසලේ 9 වසරෙදි දීර්ඝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණත් දීර්ඝකාලීනව ටෙලි නාට්‍ය ක්ෂේත්රයට සම්බන්ධ වුණේ උසස් පෙළින් පස්සේ. ජයලත් මනෝරත්නයන්ගේ තාත්තෙ අපි ආවා, මහ පොළොව අපේ නෙවෙයි, ලිලන්ත කුමාරසිරිගේ කණාමැදිරියෝ, නාඩි, සුජීව ප්‍රියලාල්ගේ ඉන්ටර්නැෂනල්, පෝක් වීදිය, තිළිණ බොරලැස්සගේ ශක්තී වගේම මේ දිනවල ඉතාම ජනප්‍රිය සිත නිදි නෑ, හර්ෂ උඩකන්දගේ ප්‍රාර්ථනා එක්ක ටෙලි නාට්‍ය 20කට විතර දායකවෙලා තියෙනවා.
වේදිකාවේ සුද්දෙක් ඔබ අමතයි වගේම පුංචි තිරයේ සිත නිදි නෑ කියන්නෙ ඔබ ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා ගත් නිර්මාණ ?
සුද්දෙක් ඔබ අමතයි වේදිකා නාට්‍යයේ ඉතිහාසය ඔබ අමතයි කියන්නෙ ජයලත් මනෝරත්නයන් කළ චරිතය. ඔහුගේ සමුගැනීමත් එක්ක ඒ චරිතය ප්‍රතිනිර්මාණය කරන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට ලොකු අභියෝගයක් වුණත් ඒ වගේ වෙනත් අය කරපු චරිත ප්‍රතිනිර්මාණය කරන්න මං ගොඩක් කැමතියි. එක අතකින් ඔහු මගේ ගුරුවරයා. අනෙක් අතින් විනාඩි 45ක් විතර කතාවෙන්, නැටුමෙන්, ගැයුමෙන් තනියම ප්‍රේක්ෂකාගාරය රඳවා තබාගැනීමේ හැකියාව. ඒක රාජ්‍ය නාට්‍ය උලෙළේ සම්මානයට ලක්වුණු නිර්මාණයක්.
ඉෂාර ක්ෂේත්රය තුළ ගොඩක්ම ජනප්‍රිය වැඩ ගොඩදාන්න දක්ෂයෙක් කියලා නේද?
ඔව්, මීට කලින් මං තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ පිනාගේ චරිතය ප්‍රතිනිර්මාණය කළා. සමහර ප්‍රවීණයන්ට එන්න බැරි අවස්ථාවල, අසනීපයක් හැදුණොත් එහෙම නැත්නම්, මියගිය අවස්ථාවල මට හදිසි කැඳවීම් ලැබෙනවා. මං සාමාන්‍යයෙන් ක්ෂේත්රයේ ප්‍රසිද්ධ ඒ වගේ වැඩ ගොඩදාල දෙන්න පුළුවන් කෙනෙක් විදිහට. මාත් හරි ආසයි ඒ අභියෝගය භාරගන්න. ආයි සැරයක් මට මාව ට්‍රයි කරන්න පරීක්ෂා කරන්න පුළුවන්. එතැනදි මං ගොඩක් වෙලාවට උත්සාහ කරන්නෙ කලින් නළුවා කරපු දේම කරන්නෙ නැතුව ඒ චරිතෙ මගේ විදිහට ප්‍රතිනිර්මාණය කරන්න. ලැබුණු ප්‍රතිචාරවලින් ඒව සාර්ථකයි කියලා හිතෙනවා. ජයලත් මනෝරත්නයන් ප්‍රතිනිර්මාණය කිරීමේදී හැමෝම කිව්වෙ මනෝරත්නයන් කළේ එකක්. ඉෂාර කරන්නෙ වෙන එකක්. අපිට මනෝරත්නයන් පේන්නෙත් නෑ හැබැයි ඉෂාරගෙ වර්ෂන් එකක් තමයි පේන්නෙ කියලා. මං හරි කැමතියි ඒකට.
‘සිත නිදි නෑ’ කියන්නේ මේ දවස්වල ඔබේ වටේම කැරකෙන නාට්‍යයක් වෙලා නේද?
ඔව්, ඔව්, මේ දවස්වල විශ්ව ගෑනු ළමයි තුන් දෙනෙකුට මැදිවෙලා ඉන්නේ. ඒ මදිවට මාමණ්ඩිගෙන් ගැලවෙන්නම බෑ. මේ දවස්වල කතාවෙ නමත් වෙනස් කරල මාමයි බෑනයි වෙලා. අබ්බුඩ්ඩිගෙන් නම් යන්තම් ගැලවුණා. මේ දවස්වල රියාගෙ ආදිපත්‍යයට යටවෙලා ඉන්නෙ. විශේෂයෙන්ම මෙහි ගෞරවය තිර පිටපත් රචක ලක්ෂාන් වස්තුහේවාට හිමිවිය යුතුයි.
ගෙදරින් ලැබෙන සහයෝගය ගැනත් කියමු?
මගේ බිරිය ශෂිනි අනුපමා. ඇය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක්. අපට අවුරුදු හතරක පුංචි දුවෙක් ඉන්නවා. මගේ කාර්යබහුලත්වය හමුවේ ඔවුන් මාව දරාගෙන ඉඳීමම තමයි මට දක්වන ලොකුම සහයෝගය. දුව තමයි මගේ ලොකුම ෆෑන්. මට නාට්‍ය ටික මතක් කරන්නෙ එයා. මං ගෙදර නැතත් එයා ඒව රිපීට් කරල බලනවා. මං ඉන්න කෑලි ටික විතරයි බලන්නේ. බලල මට බැණල වොයිස් මැසේජ් එවනවා. මොකද අර ආන්ටිව බදාගෙන හිටියෙ, ඇයි ඒ ආන්ටි ඔයාගෙ උරහිසේ ඔළුව තියාගෙන හිටියෙ කියලා. එයාට ඉරිසියයි. එයා ගොඩක්ම ආස වේදිකා නාට්‍ය බලන්න. ඒ වගේම මගේ අම්මා, තාත්තා මතක් කරන්නම ඕන. එදා ඔවුන් මට ඒ වගේ නිදහසක් දුන්නෙ නැත්නම් අද මං මෙතන නෑ. ඔවුන් අදටත් මගේ හැම නාට්‍යයක්ම බලලා සතුටු වෙනවා.
ඔහුගේ සාර්ථකත්වය පිටුපස සිටින ඇය අපේ කතාබහට එක්වුණේ ඒ ආදරණීය අතීතය සිහිපත් කරමිනි.
ඉෂාරව මට මුලින්ම හමුවෙන්නෙ රාජකීය විද්‍යාලයෙදි. ඒ දවස්වල අපේ අම්මා බස්නාහිර පළාත් සෞන්දර්ය අධ්යක්ෂ වෙලා හිටියා. නාට්‍ය වැඩමුළු, ෆෙස්ටිවල්, ඩ්‍රාමා සම්බන්ධව බැලුවෙ අපේ අම්මා නිසා මාත් ඇයත් එක්ක යනවා. එක සම්මාන උත්සවයකදි අම්මගෙ උදව්වට හඳුන්වල දුන්නෙ ඉෂාරව. අපි දෙන්නම එක වයසෙ. එදා තමයි අපි මුලින්ම කතාබහ කළේ. ආයෙම අපි හමුවෙන්නෙ දෙෙවනි වර උසස් පෙළ කරද්දි බයෝ ක්ලාස් එකේදි. කලින් කතාබහ කරල තිබුණ නිසා එතැනදිත් කතා කළා. මම ඩිග්‍රිය කම්ප්ලීට් කළාට එයා දෙවතාවක් ස්කිප් කරලා ආර්ට්වලින් කරද්දි ඩ්‍රාමා විෂයක් විදිහට කළ නිසා රත්නා මිස් එක්ක අම්මගෙ වැඩමුළුවලට සම්බන්ධ වුණා. ඒ වෙද්දි මං කැම්පස් දෙවැනි වසරේ. මාත් අම්මගෙ වර්ක්ෂොප්වලට ආවා. එතැනදි අපි ආයෙම හමුවුණා. කතාබහ කළා. ඒ කතාබහ දුරදිග ගිහින් තමයි ආදරයක් බවට පත්වුණේ.
ඔබේ දරාගැනීම තමයි ඔහුගේ සාර්ථකත්වය වෙලා තියෙන්නේ?
මගේ ඉවසීම, දරාගැනීම නිසා මං හැමදේම ඕවර් රෝල් බැලන්ස් කරගන්නවා. මං එයාව දන්නෙ නළුවෙක් වෙන්න කලින්. එයාගෙ ඔය ටැලන්ට් එක මං ඒ කාලෙම හඳුනගත්තා. මං එයාට නිතරම කිව්වෙ පොඩි පොඩි වැඩ කරන්නෙ නැතුව ලොකු වැඩකට අතගහන්න කියලා. හැබැයි තාමත් මං ෆෝකස් කරපු තැනට එයා ඇවිත් නෑ. එයා මල්ටි ටැලන්ට් කෙනෙක්. අපේ අම්මා මටත් කලින් එයාගෙ හැකියාව හඳුනගෙන තිබුණා. ඒ කාලෙම අම්මා කිව්වා අනාගතේ මනෝරත්නයන්ගේ තැනට රීප්ලේස් කරගන්න පුළුවන් කෙනෙක් කියලා. මං දැනගත්තා එයාට ඕනෙම කෙනෙකුගෙ තැනට රීප්ලේස් වෙන්න පුළුවන් කියලා. ඒ කාලෙ ඉඳන්ම මං ඒක එයාගෙ ඔළුවට දැම්මා. ඉෂාර කියන්නෙ ඕවර් රෝල් පැකේජ් එකක්. මං දැකපු හීනෙ තමයි අද එයා ඉන්නෙ. ඒ හීනෙ මුලින්ම දැක්කෙ මං නිසා මට ගොඩක් සතුටුයි.
2024 දෙසැම්බර් 23, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 22, පෙ.ව. 12:08
2024 දෙසැම්බර් 21, ප.ව. 2:11
2024 දෙසැම්බර් 21, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 20, පෙ.ව. 12:05
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
23-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24
22-12-24