hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 ජූලි 17, පෙ.ව. 12:01



රිය අනතුරකට ලක් වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා මේ වන විට තරමක් යහපත් සෞඛ්‍ය තත්වයකින් පසුවන බව වාර්තා වෙනවා.

ඔහු අනතුරට ලක්වීමත් සමඟ බොහෝ දෙනෙක් නොයෙක් කතා කිව්වා.

ඔහුගේ එකම දියණිය ඉතාමත් පැහැදිලි සටහනක් මුහුණුපොතට එක් කරමින් තත්වය පැහැදිලි කළා.

ඔහු මෙම අනතුරට මුහුණ දෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන සිංහබාහු සිනමාපටයෙහි දවසේ රූපගත කිරීම් නිම වී නවාතැන් ගෙන සිටින ඉසව්ව බලා ගමන් කරන අවස්ථාවේදීයි.

මේ පිළිබඳව ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක මහතා පුවත්පතකට මෙසේ සඳහන් කළා,

“ අනුරාධපුර හත්ථිකුච්චි නටබුන් ආශ්‍රිත කැළැබඳ ප්‍රදේශයේ සිංහබාහු පුහුණුවීම් කටයුතු සිදු කළේ මාසයක පමණ කාලයක සිටයි. අපි නවාතැන් ගෙන සිටියේ අනුරාධපුරයේ. මමත්, රේණුකාත් තවත් පිරිසකුත් මේ සඳහා සහභාගි වුණා. මේ වන විට සිංහබාහු තුනෙන් එකක් අවසන් කරලයි තිබුණේ. එදා අවසාන රූගත කිරීමට තිබුණේ ජැක්සන් සහභාගී වන රාත්‍රි දර්ශනයක්. ඒ වුණත් රාත්‍රී 8 ට පමණ අවසන් කළා. ජැක්සන් රූගත කිරිම් අවසන් කර එයාගේ වාහනයෙන් සමන් හා ඉරේෂ් සමඟ නවාතැනට පිටත් වුණා. මමත් මගේ වාහනයෙන් සහය අධ්‍යක්ෂක චාමර හා රියදුරු සමඟ ඔහු පිටු පසින්ම ගමන් කළා. රේණුකා අස්පස් කිරීම් සඳහා ඒ ස්ථානයේ නැවතුණා. ටික දුරක් යද්දි මට පෙණුනා පාර මැද රථ වාහන තදබදයක්. මම හිතුවා එක්කෝ විරෝධතාවයක් නැතිනම් හදිසි අනතුරක් කියලා.”

“මේ එක්කම රේණුකාගෙන් මට කෝල් එකක් ආවා, ජැක්සන් ගිය වාහනයේ අලියෙක් වැදිලා. ටිකක් ගිහින් බලන්න කියලා. මෙ වන විට විනාඩි දෙක තුනක් ගෙවී ගිහින්. මම යන කොට අලියෙක් හිටියේ නැහැ. මම අලියෙක් හෙව්වෙත් නැහැ. මම හෙව්වේ ලෙඩ්ඩු කෝ කියලා. ජැක්සන් පාරේ නිදි කරවලා තිබුණේ. ඔහු ඇස් ඇරගෙන සිටියත් හොඳ සිහියෙන් හිටියේ නැහැ. ඔහුගේ සහයක දිනේෂ් පාරේ වාඩි වෙලා හිටියේ. ඔහුගේ මුහුණ පුරා ලේ. සමන් ඒ වෙලාවෙයි වාහනයෙන් එළියට ගත්තේ. මම මගේ වාහනයේ ජැක්සන්ව දාගත්තා. අනිත් අයවත් වාහනවලට දා ගත්තා. ජැක්සන්ව වාහනයේ හේත්තු කරගෙන බෙල්ල හෙළවෙන්න නොදි රෝහලට ගෙන ගියා. අපි වේගයෙන් විනාඩි 15 ක් ඇතුළත අනුරාධපුර රෝහලට ජැක්සන්ව ගෙනාවා. ඒ වෙලාවේ ජැක්සන් වේදනාවෙන් කෙදිරි ගැවා. බෙල්ල රිදෙන බව හැඟෙව්වා. ජැක්සන් බව නොදැන අනුරාධපුර රෝහල කාර්යක්ෂමව අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නා. නමුත් ජැක්සන්ගේ බෙල්ලේ ස්නායු පද්ධතියට වූ හානිය නිසා කොළඹ ගෙනියන්න කිව්වා. අපි හෙලිකොප්ටරයක් හෙව්වත් රාත්‍රීයේ නිසා එය ලබා ගැනීමට නොහැකි වුණා. මේ නිසා රෝහලේ ගිලන් රථයෙන්ම කොළඹට ගෙනාවා.”