hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 04, පෙ.ව. 10:05



නිසි කළමණාකාරිත්වයකින් තොරව මෙන්ම නිසි සොයා බැලීමකින් තොරව ආරම්භ කරන බොහෝ සංවර්ධන ව්‍යාපෘතීන් අසාර්ථකවීම් අප රටෙන් කොතෙකුත් වාර්තා වනවා.

ඒ තුලින් විනාශ වී යන්නේ අප ජනතාවගේම බදු මුදල් නොවන්නේද?

මේ එවන් මුදල් විනාශවී ගිය තවත් එක් අසාර්ථක ව්‍යාපෘතියක්.

නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම් හා ප්‍රජා පවිත්‍රතා දැයක් නගන සියක් නගර ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය සහ බදුල්ල මහ නගර සභාව එක්ව බදුලුඔය ඇවිදින මංතීරු ව්‍යාපෘතිය 2021 ඔක්තෝබර් 19 වන දින අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තබමින් වැඩ ආරම්භ කර තිබෙනවා.

ඒ සදහා රුපියල් මිලියන 16.17ක මුදලක් වෙන්කොට තිබෙනවා.

ඒ මීටර් 800ක දුරකින් යුත් යෝජිත ඇවිදින මංතීරුව ඉදිකිරීම සදහායි.

“ඇවිදින මංතීරු හදන එක හොද දෙයක්. නමුත් මේ අවුරුද්දකට දෙපාරක් විතර ගංවතුර දාන බදුලු ඔය ආශ්‍රිතව මේ හදන මංතීරුවට අපේ කිසිදු කැමැත්තක් තිබුණේ නැහැ. මේ ස්ථානයට එන ගංවතුර ගැන අපි හොදටම දන්නවා. ඉතින් ගංවතුරත් එක්කම මේ ඇවිදින මංතීරුවට වෙනදේ ගැන අපි බලාගෙන හිටියා. අන්තිමට වුණේ අපි හිතුව විදිහටම ඇවිදින මංතීරුව ගංවතුරට ගහගෙන ගියා.” නම සදහන් කිරීමට අකමැති පුද්ගලයෙක් ඒෂියන් මිරර් අප හා පැවසුවා.

ඇවිදින මංතීරුවට මුල්ගල් තියා වැඩ ආරම්භ කොට හරියටම දින 11කට පසුව එනම් 2021 ඔක්තෝබර් 30වන දින බදුල්ලට දරුණු ගංවතුර තත්වයක් ඇති වී තිබෙනවා. එම ගංවතුරින් ඇවිදින මංතීරුව ගසාගෙන ගොස් තිබෙනවා.

“ඇවිදින මංතීරුවක් හදනවා නම් හදන්න අවශ්‍ය තැනක්ද මේක? බදුල්ල සුමනතිස්සගම කියලා කිවුවම ඕනෙම කෙනෙක් දන්නවා ගංවතුර දාන ගමක් කියලා. අනිත් එක තමයි බදුල්ලේ මිනිස්සුන්ට ඇවිදිනවා නම් ඕන තරම් පිට්ටනි තියෙනවා. බදුල්ල නගරයේ පිහිටලා තියෙන වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය හා පාපන්දු, ක්‍රිකට් වැනි ක්‍රීඩා පිට්ටනි හොදටම ඇති. ඒ වගේම තමයි බදුල්ල උද්භිද උද්‍යානයේ ඇවිදින මංතීරුවක් හදලා තියෙනවා. නමුත් ඒකෙ කිසිම කෙනෙක් ඇවිදින්න යන්නේ නැහැ. එවැනි තත්වයක් උඩ තමයි මේ තවත් ඇවිදින මංතීරුවක් හදන්න ගියේ.” ත්‍රීඩාවට බොහෝ සම්බන්ධකම් ඇති රත්නායක මහතා එසේ පැවසුවා.

නාගරික සංවර්ධන අධිකාරියේ ඌව පළාත් අධ්‍යක්ෂක වයි.ඒ.ජී.කේ. ගුණතිලක මහතා සදහන් කලේ මෙවැන්නක්.

“මෙම යෝජනාව ආවේ දේශපාලකයින් ගත් තීන්දුවතට අනුවයි. ඒ සදහා මුදල් පවා වෙන්වෙලා තිබුණා. ඒ අනුව අපිට මෙහි කටයුතු කරන්න පමණයි ති‍බුණේ. නමුත් අපගේ තාක්ෂණික නිළධාරී කණ්ඩායම මෙහි තිබෙන තාක්ෂණික ගැටලුව පවසා තිබුණා. අපි සැම දන්නවා මෙම ස්ථානයේ ඇතිවන ගංවතුර තත්වය. නමුත් මෙම ඇවිදින මංතීරු යෝජනාව අපිට ක්‍රියාත්මක කරන්න සිදුවුණා. මෙහි වැඩ ආරම්භ කරලා දින කිහිපයක් යන්නට පෙර ඇතිවූ ගංවතුරින් මෙම ස්ථානය හානියට පත්වුණා. පසුව නැවත මෙහි එම ව්‍යාපෘතිය නොකිරීමට තීරණය කලා. මේ සදහා වෙන්වූ මුදල් රටේ වෙනත් ව්‍යාපෘතියකට යොදාගන්න ඇති.”

ඇවිදින මංතීරු ව්‍යාපෘතියේ මූලික වැඩ ආරම්භයේ සිට බිම් සකස් කිරීමට අදාලව රුපියල් ලක්ෂ එකොලහකට පමණ (1,100,000) ආසන්න මුදලක් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුට වියදම්ව ඇති බැව් අනාවරණය වී ඇති අතර ඒ වෙනුවෙන් ඉදිරිපත් කෙරුණු බිල්පත් වලින් අනතුරුව ඔහු වෙනුවෙන් ලක්ෂ හයක (600,000) මුදලක් පමණක් නාගරික සංවර්ධන අධිකාරියෙන් ගෙවා ඇති බවත් එම මුදල ලබා ගැනීමට මාස හයකට වැඩි කාලයක් ගතවූ බවයි කොන්ත්‍රාත්කරු සදහන් කලේ.

ඒ අනුව කොන්ත්‍රාත්කරුට ලක්ෂ පහක මුදලක් අහිමි වෙද්දී කොන්ත්‍රාත්කරුට ගෙවූ රුපියල් ලක්ෂ හයක මුදලක් කිසිදු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවී ගංවතුරට ගසාගෙන ගොස් ඇත. මෙවන් මුදල් නාස්තීන්ට වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය පමණක් සැමදා ඉතිරිව තිබෙනවා.

බදුල්ල – ජයලත් දිසානායක