2025 පෙබරවාරි 23, පෙ.ව. 12:28
ඉකුත්දා මුළු දකුණු පළාතම බියෙන් සලිත විය. සිද්ධිය ඇසින් දුටු බොහෝ දෙනා මෙයින් කම්පාවට පත්වූහ. ඒ, එය ඉතා අමානුෂික ඝාතනයක් වූ නිසාය. මිද්දෙණිය කජ්ජා නමැති පුද්ගලයකු වෙඩි තබා මරා දමා තිබිණි.
පිරිස කම්පනයට පත්වූයේ ඔහු මරා දැමීම නිසා නොව ඔහුගේ කුඩා දරු දෙදෙනාටද නාඳුනන තුවක්කුකරුවන් වෙඩි තබා තිබූ නිසාය. වෙඩි ප්‍රහාරය වැදුණු දරුවන් පණ ගැහෙමින් හුස්ම ගන්නා අයුරු දුටු ඒ අවට පිරිස් ඉතාමත් කම්පනයට පත්ව ඔවුන් රෝහල් කරා රැගෙන ගියහ. සය හැවිරිදි සුරතල් දියණිය වීරකැටිය රෝහලට ඇතුළත් කළද ඇගේ තත්ත්වය බරපතළ වූවාය. පසුව ඇය තංගල්ල මූලික රෝහලට මාරු කර යැවුවද ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන්ට හැකි වූයේ නැත.
වෙඩි වැදීමෙන් බරපතළ තත්ත්වයෙන් පසුවූ කජ්ජාගේ පුතු මිද්දෙණිය රෝහලෙන් ඇඹිලිපිටිය රෝහලට මාරු කර යැවුවද ඔහුගේ තත්ත්වයද එතරම් සතුටුදායක නොවීය. පැය කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ උදේශ් ඉන් අනතුරුව පියා සහ නැඟණිය සිටි ලෝකයටම ගියේය. පුතුගේ වියෝව රෝහල් කාර්ය මණ්ඩලයටද දරා ගැනීමට නොහැකි වූයේ එය සංවේදී මොහොතක් වූ නිසාය.
තුවක්කුකරුවන් මොන හිතකින් අහිංසක දරුවන්ට වෙඩි තැබුවේද යන්න තාමත් සිතාගත නොහැක්කක් විය. මිද්දෙණිය, වීරකැටිය, තංගල්ල ආදී ප්‍රදේශ සහ ඒ අවට පදිංචිකරුවන් කජ්ජා කවුරුදැයි හොඳාකාරව දැන සිටියද ඔහුගේ අහිංසක දරුවන් ඝාතනය කිරීමට තරම් හිතක් පපුවක් නැති තුවක්කුකරුවන් පෙලඹීම ගැන කාගේත් සිත් තුළ ඇති වූයේ කනගාටුවකට වඩා තදබල වෛරයකි.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹුවේ මිද්දෙණිය පොලිසිය විසිනි. වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ වීරකැටිය, මීගස්ආර, කුඩාබිබුල ප්‍රදේශයේ පදිංචි අරුණ ප්‍රියන්ත හෙවත් මිද්දෙණිය කජ්ජා සහ ඔහුගේ සය හැවිරිදි දියණියත් 9 හැවිරිදි උදේශ් මාදෙව් පුතාත්ය. අහස්යා දියණිය මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ ප්‍රාථමික විද්‍යාලයේ සිප්සතර හැදෑරූ අතර පුතු උදේශ් මිද්දෙණිය ප්‍රාථමික විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලැබීය.
තිදරු පියකු වන අරුණ ප්‍රියන්තගේ බිරිය සිටින්නේ විදේශගතවය. ප්‍රදේශවාසීහු පවසන්නේ ඇය කජ්ජාගෙන් වෙන්ව ජීවත් වන බවය. ඒ ඇය අරුණගේ ක්‍රියාකලාපය නොරිස්සූ නිසා බවද කියයි. මේ නිසා කජ්ජාගේ දරුවන් රැක බලා ගත්තේ බිරියගේ මව ඇතුළු පාර්ශ්වයෙන් බවද වාර්තා වේ. අහස්යා දුව පාසල් ගියේද මිත්තණියගේ නිවෙසේ රැඳී සිටය.
සිද්ධිය වූ දින කජ්ජා දරුවන් නැවැතී සිටි මැදමුලනේ නිවෙසට පැමිණ දරුවන්ද සිය යතුරුපැදියට නංවාගෙන මිද්දෙණිය තෝරකොළයාය ප්‍රදේශයට ගොස් ඇත්තේ රාත්‍රි ආහාරය ගැනීම සඳහාය. මෙහිදී දරුවන් පියාට පවසා ඇත්තේ අද රෑට කොත්තු රොටි කෑමට කැමැති බවකි. පසුව දරුවන්ද සමඟ නිවෙස ආසන්නයේ ඇති හෝටලයකට ගිය කජ්ජා කොත්තු රොටී ඇණවුම්කොට සිය වැඩිමහල් දරුවා හෝටලය අසල නතරකොට සෙසු දරු දෙදෙනා සමඟ යෝගට් කිහිපයක් මිලදී ගැනීම සඳහා ගල්පොත්තයාය නවය කණුව ආසන්නයට ගොස් ඇති අතර එහිදී නාඳුනන තුවක්කුකරුවන් ඔහු ඉලක්කකොට වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
වෙඩි ප්‍රහාරයත් සමඟ යතුරුපැදිය පාලනය කරගත නොහැකි වූ කජ්ජා දරුවන්ද සමඟ මාර්ගයේ ඇදවැටී එතැනම මරු වැලඳගෙන තිබේ. ගල්පොත්තයාය දෙවනත් කරමින් ඇසුණු වෙඩි ප්‍රහාරයෙන් තිගැස්සුණු ඒ අවට පිරිස් සිදුවීම දැක බියට පත්ව ඇති අතර කෑකෝ ගැසීම් සහ මරළතෝනි මැද පණ නල ගැහෙමින් හුස්ම ගැනීමට වෙර දරන දරුවන් රෝහල් කරා රැගෙන යෑමට ඔවුන් යුහුසුලු වී තිබේ.
පසුව හෝටලය අසල නතර කර සිටි වැඩිමහල් දරුවාද සොයා ගැනුණු අතර ඔහුද සිද්ධියෙන් බියට පත්ව හඬන්නට පටන්ගෙන ඇත.
ඝාතනය වූ කජ්ජා හොඳ චරිතයක් ඇත්තෙකු නොවන බව විමර්ශන නිලධාරීහු පවසති. පසුගිය අරගලය පැවැති සමයේදී රාජපක්ෂවරුන්ගේ නිවාස හා දේපළ ගිනි තැබීම්වලින් ආරක්ෂා කර ගැනීමටද මොහු පෙරමුණ ගෙන කටයුතු කළ අයෙකි. ඒ බව මිද්දෙණිය, තංගල්ල, මැදමුලන, වීරකැටිය සහ ඒ අවට බොහෝ පදිංචිකරුවෝ හොඳාකාරවම දනිති.
දකුණේ ප්‍රබල දේශපාලන පවුලක් සමඟ ඉතාම සමීප ඇසුරක් පැවැත්වූ කජ්ජා පසු කාලයකදී එම පවුල සමඟ තිබූ සබඳකම අතහැර දමා තිබූ බවද වාර්තා වේ. ඔහු මේ බව එක්තරා “යූටියුබ්” නාළිකාවක පැවැති සාකච්ඡාවකදී අනාවරණය කර තිබූ අතර එම දේශපාලන පවුල දැඩි ලෙස විවේචනයටද ලක්කර තිබිණි.
කජ්ජාට එරෙහිව විවිධ නඩුද අධිකරණ කිහිපයකම විභාග වෙමින් පවතී. නිශ්චිත ආදායම් මාර්ගයක් නොමැති වුවත් ඔහු ගැවැසුණේ අතමිට සරු වූවකු ලෙසිනි. වරෙක ඔහු ඩිෆෙන්ඩර් වර්ගයේ රථයක්ද සිය භාවිතයට ගෙන තිබිණි. සමහරු පැවැසුවේ ඔහු එම රථයෙන් ගමන්ගත්තේ ආයුධද අතැතිව බවකි.
මුදලට සූදු සෙල්ලම් කිරීම ඔහුගේ එකම ආදායම් මාර්ගය වූ අතර සිය දරුවන් මිතුරන්ගේ නිවෙස්වල නතරකොට බූරු ගැසීමේ ක්‍රීඩාවේ යෙදීමද ඔහු විසින් සිදුකර තිබේ. බූරු ක්‍රීඩා කරමින් සිටි ස්ථානයකට ආයුධ සන්නද්ධව කඩාවැදී එහි සිටි පිරිස භීතියට පත්කොට පිටියේ ඇති මුදල් කොල්ලකෑම සම්බන්ධයෙන්ද කජ්ජාට චෝදනා එල්ල විය.
2024 වසරේ සිදුකළ එවන් කොල්ලකෑම් මත වරෙක ඔහු අත්අඩංගුවට ගැනිණි. එමෙන්ම ටී-පනස්හය ගිනි අවියක් බලපත්‍රයක් නොමැතිව ළඟ තබා ගැනීම ඇතුළු අනවසර ගිනිඅවි සන්තකයේ තබා ගැනීම් ආදී නඩු කිහිපයක්ද ඔහුට එරෙහිව අධිකරණවල විභාග වෙමින් පවතී. එවන් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ මොහොතක ඔහු බේරා ගැනීමට ඔහු සමීපව සබඳකම් පැවැත්වූ එම ප්‍රදේශයේ දේශපාලන අධිකාරියට නොහැකි වීම මත ඔහු සහ එම පාර්ශ්වය අතර කිසියම් අමනාපයක්ද ඇතිවී තිබිණි. මේ සම්බන්ධයෙන්ද කජ්ජා එම පාර්ශ්වයට දැඩිව චෝදනා එල්ල කරන්නටද විය.
මිද්දෙණිය ප්‍රදේශයේ නිවෙසක් කොල්ලකෑම, ඇඹිලිපිටිය ප්‍රදේශයේ පුද්ගලයකුට මරණ තර්ජන කිරීම, බෙලිඅත්තේදී ජීප් රියක් කොල්ලකෑම, ත්‍රිරෝද රියක් පැහැර ගැනීම ආදී චෝදනාද මොහුට එල්ලව තිබූ අතර ඝාතන සිද්ධීන් රැසකට ආධාර අනුබල දීමේ චෝදනාවන්ද මොහුට එල්ල වී තිබේ.
ණයට මුදල් දී එම මුදල් ආපසු ලබාගත නොහැකිව අසරණව සිටින පුද්ගලයන්ට එම මුදල් ලබා ගැනීමට ඉදිරිපත් වීමටද මොහු සමහර අවස්ථාවල කටයුතු කර තිබේ.
මෙවන් චෝදනා රැසක් එල්ලව ඇති මොහු කිසියම් පාර්ශ්වයකගේ ජීවිත තර්ජන එල්ල වීම නිසා කලක් සැඟව ජීවත් වී ඇති අතර ඊට මුදල් ගනුදෙනුවක් හේතු වී ඇති බවද කියයි.
දකුණේ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වූ හරක්කටාට අයත් බව කියන හෙරොයින් තොගයක් පසුගිය කාලයක ඇඹිලිපිටිය ප්‍රදේශයට ආසන්න තැනකදී පොලිසියට අසුව තිබේ. පොලිසියට එම මත්කුඩු තොගය අත්අඩංගුවට ගැනීමට ඔත්තුව ලබාදී ඇත්තේ “කජ්ජා” බවට එම අපරාධකරුවන්ගේ පාර්ශ්වයට තොරතුරු ලැබී තිබිණි. හෙරොයින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන්ටද දකුණේ පාතාල කණ්ඩායම විසින් තර්ජන එල්ල කොට තිබූ අතර හෙරොයින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියකු සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර තිබිණි. හෙරොයින් තොගය අත්අඩංගුවට ගැනීමට කජ්ජා පොලිසියට දුන් ඔත්තුව මත කජ්ජාටද එම පාර්ශ්වය විසින් මරණ තර්ජන එල්ල කර තිබූ අතර එම හේතුව නිසා දකුණේ පාතාල වෙඩික්කරුවන්ට ලැබුණු කොන්ත්‍රාත්තුවක් මත කජ්ජා ඝාතනය කර ඇති බවට පොලිස් විමර්ශකයෝ සැක පළකරති.
මේ අතර කජ්ජා ඝාතනය වූ ස්ථානයට නුදුරින් මාංචු කුට්ටම් දෙකක්ද තිබී සොයා ගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී තිබේ. නිරීක්ෂණයේදී පෙනී යන්නේ එම මාංචු අලුත්ම ඒවා බවකි. කළු පැහැති පොලිතින් කවරයක බහා තිබූ මෙම මාංචු කුට්ටම් කජ්ජා විසින් යතුරුපැදියේ රැගෙන ගියේ මන්ද යන්න විමර්ශන නිලධාරීන්ට ගෙනදී ඇත්තේ ගැටලුවකි. එසේත් නැතහොත් විමර්ශන නොමඟ යැවීම සඳහා එම මාංචු කුට්ටම කජ්ජා ඝාතනය කළ ස්ථානයේ කිසිවකු විසින් දැමුවේද යන සැකයද නිලධාරීන් තුළ පවතී. ඒ අනුව එම මාංචු හඳුනා ගැනීමට පොලිසිය පියවර ගැණිනි.
මීට පෙර එක් අවස්ථාවකදී ද ඔහුගේ ජීප් රියේ තිබී මේ ආකාරයේ මාංචු කුට්ටමක්ද පොලිසිය සොයාගෙන තිබිණි.
ඒ ඔස්සේ විමර්ශන සිදුකළ පොලිස් කණ්ඩායමද කජ්ජා ඝාතනය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන්නැයි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. උසස් නිලධාරියකු සඳහන් කරන ආකාරයට කජ්ජාට එම මාංචු කුට්ටම ලබාදී ඇත්තේ එම කොස්තාපල්වරයා බවට සැක කරයි. වීරකැටිය කැප්පෙටියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැණුනු ඒම කොස්තාපල්වරයා තංගල්ල මූලස්ථාන පොලිසියට අනුයුක්තව රාජකාරී කළ අයෙකි. ඒමෙන්න ඔහු කැප්පෙටියාව පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.
කොස්තාපල්වරයා කජ්ජාට එම මාංචු ලබා දුන්නේ මන්දැයි සෙවීමට විමර්ශන අරඹා තිබේ. අත්අඩංගුවට ගත් සෙසු දෙදෙනාද ආධාර අනුබල දීමේ චෝදනාව මත ප්‍රශ්න කෙරෙන අතර ඔවුන්ගෙන් ලද තොරතුරු මත කජ්ජා ඝාතනය කිරීමට හේතුව සහ ඔහුගේ ඝාතකයන් හඳුනා ගැනීමට පියවර ගෙන තිබේ.
මේ අතර අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් කරන ලද දීර්ග ප්‍රශ්න කිරීමෙන් පසු වෙඩි තබා ත්‍රිත්ව ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට මිද්දෙණිය පොලිසිය විසින් ඉකුත් සිකුරාදා (21දා) අත්අඩංගුවට ගත්තේය.
ඒ මිද්දෙණිය පොලිස් වසමේ දෙබොක්කාව හා වීරකැටිය පොලිස් වසමේ අග්‍රාහාර හන්දිය යන ප්‍රදේශවලදීය.
මිද්දෙණිය පොලිසියේ නිලධාරීන් සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් අවුරුදු 37 සහ 39 වයස්වල පසුවන වලස්මුල්ල හා වීරකැටිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.
මෙම සැකකරුවන් දෙදෙනාම හිටපු යුද හමුදා සෙබළුන් වන අතර මොවුන් යුද හමුදාවෙන් පලාගොස් පසුව නීත්‍යානුකූලව යුද හමුදාවෙන් ඉවත්ව ඇති අය බව දැනට සිදුකරන විමර්ශනයේදී අනාවරණය වී ඇත. අත්අඩංගුවට ගත් සැකකාර හමුදා සෙබළුන්ගෙන් ප්‍රශ්න කිරීම අරඹා තිබේ.
කෙසේ වෙතත් කුමන ආකාරයට කජ්ජා ඝාතනය කළද එය දකුණු පාතාලයේ තුවක්කුකරුවන්ට ලබාදුන් මුදල් කොන්ත්‍රාත්තුවක් මත සිදුකර ඇති බවට විමර්ශන නිලධාරීහු සැක පහළ කරති.
කජ්ජා මියයන්නට පෙර ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ පෝස්ටුවක් පළකර තිබූ අතර මරණය ගැන සිතන්නේ නැතිව ළඟ ඇති ජීවිතය ගැන සිතා සතුටු වන ලෙස ඔහු එහි සඳහන් කර තිබිණි. එම පෝස්ටුව පළ වී දින දෙකකට පසු කජ්ජා ඝාතනය කෙරිණි.
උපුටා ගැනීම – මව්බිම
2025 පෙබරවාරි 23, පෙ.ව. 12:33
2025 පෙබරවාරි 22, පෙ.ව. 12:13
2025 පෙබරවාරි 20, පෙ.ව. 12:04
2025 පෙබරවාරි 19, පෙ.ව. 12:10
2025 පෙබරවාරි 18, පෙ.ව. 10:31