hit counter

2025 මාර්තු මස 23 වන ඉරිදා

2025 මාර්තු 23, පෙ.ව. 12:04



දරු සුරතල් පේද්දි තාත්තලා ඉබේටම පොඩි උන් වගේ වෙනවා. රෙස්ලින් ක්‍රීඩක බිග් ෂෝ පන්නයේ මහ විශාල ශරීර කූඩු තියෙන පිරිමි, දරුවො ගාවදි චාලි චැප්ලින්ලටත් වඩා කුඩාවෙනවා. ඒ වගේමයි චැප්ලින් පන්නයේ ශරීර තියෙන පිරිමි, දරුවො ගාවදි බිග් ෂෝලටත් වඩා විශාල වෙනවා. ඒ තමයි දරු සෙනෙහසේ තියෙන ලස්සනම මැජික් එක.

මට හොඳට මතකයි චූටි කාලෙ චුට්ටි වැස්සක් වැස්සත් අපේ ගේ ඇතුළ ඔරුපාරු යවන්ට පුළුවන් මට්ටමින් තෙමෙනවා. වහලෙ හිල් සමහර දාට හැදෙනවා. එදාට අපි නොතෙමී බේරෙනවා. ඒත් ටික දවසක් ගිහින් ඒ වැහිච්ච හිල් ඊටත් වඩා විසාලෙට ඇරිලා අපි ආයෙමත් තෙමෙනවා.

කැම්පස් යනකල්ම වගේ පාඩම් වැඩ කරගන්ට මට මගේම කියලා කාමරයක්වත්, පරිගණකයක්වත්, අඩු තරමෙ ජංගම දුරකතනයක්වත් ඒ මුකුත්ම තිබුන් නෑ. පුදුමයි නේද ? පුදුම වෙන්ටෙපා. මේ ඇත්තමයි. ඒ අවුලෙ තිබිච්ච ලස්සනම දේ මොකක්ද දන්නවද , මං අපේ මහගෙයි පුංචි ඉඩකඩේ හැමතැනම වගේ කාලෙන් කාලෙට පාඩම් වැඩ කරලා තියෙනවා. අක්කගෙ මේසෙ, ඇඳ උඩ, කුස්සියෙ, සාලෙ, මිදුලෙ ගස් යට ඒ හැමතැනකම ජීවිතේ ඇහිදින්න මට ඒකෙන් සෑහෙන ඉඩක් ලැබුණා. ගෙයි දොර පිටිපස්සෙ ෂෝට් නෝට් හෑලි අලෝගෙන පාඩම් කරලා තමයි මං රෝයල් ගියෙ. ඇඳ ගාව බිත්ති කෑල්ලෙ පතරංග විචාර, සිතියම්, ආණ්ඩුක්‍රම හෑලි අලෝලා පාඩම් කරලා තමයි ලෝ ෆැකල්ටි ගියෙ.

මං ජීවිතේට ස්කූල් වෑන් වල ඉස්කෝලෙ ගිහිල්ලම නෑ. කියන්ට ලැජ්ජ නෑ ගැටවර වයස වෙනකල්ම සැපවත් වාහනේකට නැග්ගහම ඒකෙ ලොක් වෙච්චි දොර ඇරගන්ටවත් මං හරියකට දැනන් උන් නෑ. ඒ හින්දා ළඟම අයගෙන් පවා අපහාසෙට, උපහාසෙට ලක්වෙච්චි අවස්ථා අනන්තයි. ඒසී කාමරේක නිදාගන්නකොට තියෙන හැඟීම ගැන මං නමැති පොඩි එකා දශමයක්වත් දන්නෙ නෑ. ඉස්සර ගෙයි ෆෑන් එකක්වත් නැති ග්‍රීස්මෙ ඉහෙන් කනෙන් දෝරෙ ගලපු දවස්වල පොඩි එකා වෙච්චි මට නින්ද යනකල්ම කාඩ්බෝඩ් එහෙකින් අම්මා පවන් ගහනවා හීනයක් වගේ මතකයි මට. අනේ මයෙ අම්මගෙ අත්දෙකට යෝධ බල යෝධ වීරිය වැඩිලා දවසක ඒකාන්තෙන් බුදුබව ලැබෙන්ටෝනි. ඒත් මදි !

ඉස්සර මං ආසම කෑම ටෝස්ට් කරපු පාන්. ඒත් ටෝස්ටරයක් අපිට තිබුන් නෑ. මං ශිෂ්‍යත්වෙ පාස් වුණාම ලොකු අම්මා දෙවඟනක් වගේ ඇවිත් මට පාන් හදලා දෙන්ටයි කියලා අලුත්ම ටෝස්ටරයක් තෑගි දුන්නා. එදා ඉඳන් එපා වෙනකල්ම පාන් පාන් පාන් ඇති පදං කෑවා. අද රටේ තියෙන සුපිරිම හෝටල් පරිශ්‍රවල කරක් ගහද්දි බැරිවෙලා හරි ටෝස්ට් පාන් පෙත්තක් දැක්කොත් මාව එතනදි ඉබේටම හිරවෙනවා. පොඩි කසුන්ව මතක් වෙලා ඇහේ උනන කඳුළු බිංදුවක් දෙකක් කාටත් නොපෙනෙන්ට මං හෙමීට පිහගන්නවා. කියන්‍ට අමතක වුණා, ලොකු අම්මා එයාගෙ ගෙදර කාටවත්ම නොකියා හොරෙන් තමයි අර අමරණීය ටෝස්ටරේ එදා මට ගෙනත් දීලා තියෙන්නෙ. ඒ ආදරේ නිසා වෙන්ටැති අදට වඩා එදා කෑව ටෝස්ට් පාන් එච්චරටම රසවත් වුණේ.

ඔන්නොහොම රිදෙනසුළු අඩි තිය තියා කටු පඳුරු ගාල්වල වැටිලා හීරිලා තුවාල වෙලා තමයි මේ අද ඉන්න මං කියන මනුස්සයා බිහිවුණේ. ඉතිං මහන්සියයි, කැපවීමයි, උනන්දුවයි තියෙනවනං ලබන්ට බැරිදෙයක් නෑ.

මට නොතිබිච්ච හැමදේම, මං අත්නොවින්ද සොඳුරුතම හැමදේම මට පුළුවන් උපරිමෙන් මයෙ පුතාට මං දෙනවා. මං වින්ද වේදනා, මං තනියෙන් විඳෝපු ලැජ්ජාවල්, රිදුම් එයාට මං කිසිදා විඳින්ට දෙන් නෑ.

හැම අම්මෙක්ම තාත්තෙක්ම එහෙම තමයි. තමන් වින්ද හැම දුකක්ම දරුවන්ට විඳින්ට ඉඩ නොදෙන්නයි , තමන් නොවින්ද හැම සැපක්ම දරුවන්ට විඳගන්ට දෙන්ටයි තමයි එයාලා ජීවිතේ පුරාම නහින්නෙ.

තේරුණාද මයෙ කෛලාෂ් … අප්පච්චි පුතාට ජීවිතේට වඩා ආදරෙයි !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: