hit counter

2025 ජූලි මස 02 වන බදාදා

2025 අප්‍රේල් 28, ප.ව. 12:23



සදෙව්මි දුවේ…උඹ ඉහළින්ම ජීවිතේ සමත් !

ඊයෙ මං ඉතාම සංකීර්ණ ප්‍රතිකාරයක් කරපු පේෂන්ට් කෙනෙක් ආව. මතක හැටියට ඉම්ප්ලාන්ට්ස් දාල දත් දහහතරක් විතර දාල ඉතාම විශිෂ්ට ලස්සන ප්‍රතිපලයක් ගත්තු අම්මෙක්. ඇතුලෙම දතක ඉතාම කුඩා සෙරමික් කෑල්ලක් කැඩිල. Ceramic chipping කියන්නෙ වෙන්න පුලුවන් දෙයක්. ඇය ස්වභාවිකවම කලබල වෙලා. මා ඇය අස්වසල මෙය වෙන්න පුලුවන් දෙයක් බව කියල දුන්න. “මං ඩොක්ටව හැමෝටම රෙකමෙන්ඩ් කරා. ඒත් මේකට මං ෂොක් වුණා”. ඇය කියනව. මා උපේක්ෂාවෙන් අහන් හිටිය…”You still can recommend me I assume. This is a very small issue ” මා කීව…ඇයට මා ප්‍රතිකාර කරේ මවකට වගේ…
ඉන් ඇයගෙ හිත හැදුණු බව මා දන්නව…

නමුත් ආදරණීය මිත්‍රවරුනි,

මෙතන අපූරු ජීවිත කතාවක් තියෙනව…මිනිස්සුන්ගෙ හිත් වෙනස් වෙන්න යන්නෙ එක ක්ෂණයයි…ඒව මැදිහත්ව උපේක්ෂාවෙන් දරා ගන්න අපි හුරු වෙන්න ඕන….හොඳත් නරකත් දෙකම…

මේ ගැන හිත හිත කාර් පාර්ක් එකට එනකොට වට්ස්ඇප් පණිවිඩයක් එනව…

උසස්පෙළ ප්‍රතිපල සටහනක්…එස් තුනක් ඇතුව සියලු විෂයන් සමත්…

ඒ සදෙව්මි…මගේ ඇස් කඳුලින් පිරුණ…

2014 අවුරුද්දෙ මහරගම දන්තායතනයට ආපු පුංචි සදෙව්මි…Osteogenesis Imperfecta කියන රෝගී තත්ත්වය තිබ්බ ඊට දීපු Bisphosphonate බෙහෙත නිසා දත් කහ වෙච්ච කැඩිච්ච සදෙව්මි…අමාරැවෙන් ඇවිදින පුංචි සදෙව්මි…හතර වසරෙ හිටපු පුංචි සදෙව්මි…හැමදාම ආච්චි අම්මා එක්ක ඇවිත් මං ඇතුළට ගන්නකන් කලබල නොකර හිටපු පුංචි සදෙව්මි…පළමුවරට මං බලල සර්ටත් පෙන්නල මගෙ Case එකකට තෝර ගත්තම සතුටු වෙච්චි පුංචි සදෙව්මි…ඉන්දක සර්ගෙ මගපෙන්වීමෙන් ආශා, දිලිනි අක්කා එක්ක එකතු වෙලා දත් ටික හදල ලස්සන කරපු පුංචි සදෙව්මි…හැමදාම ප්‍රතිකාරය ඉවර වෙලා මට දණ ගහල වැඳල ගිය චූටි දූ…

ඊට පස්සෙත් ඇගෙ ජීවිතේ හැම විශේෂ අවස්ථාවකම ඇය මට පණිවිඩයක් එවනව. සාමාන්‍ය පෙළ A නවයක් ගත්තමත් ඇයට මාව මතක් වුණා…ආච්චි අම්ම මැරුණමත් ඇයට මාව මතක් වුණා..පළමු පාර උසස්පෙළ අසමත් වුණාමත් ඇයට මාව මතක් වුණා…

හතර වසරෙ දරුවෙකුට පිටස්තර මිනිහෙක් අවුරුදු දහයකට පස්සෙත් එහෙම මතක තියෙන හැටි ම⁣ට පුදුමයි….මා ඇයට කරේ මගෙ රස්සාවෙ කොටසක් විතරයි…

අද මගෙ වෝල් එක පුරාම A 3 ප්‍රතිපල තියෙන රිසල්ට්ස් ෂීට් ෂෙයා වෙනව…නියමයි…

හැබැයි මට හිතෙනව සදෙව්මිගෙ ප්‍රතිපලය ඔබත් එක්ක බෙදා ගන්න…මේ ප්‍රතිපලය වෛද්‍යවරයෙකුගෙ හෝ ඉංජිනේරුවෙකුගෙ නොවෙන්න පුලුවන්. මේ වගෙ ප්‍රතිපල බිහි කරපු ටියුෂන් ගුරුවරු නැති වන්න පුලුවන්…සදෙව්මි කාගෙවත් බිල්බෝඩ්වල නැතිවෙන්න පුලුවන්…

ඒත්….

මේ රිසල්ට් ෂීට් එකේ අපූරු උත්තම මනුස්ස ගුණයක් වහනය වෙනව මට දැනෙනව…

ඒ තමයි කෘතවේදී කම….
ඊට වඩා රෙකමෙන්ඩේෂන් එකක් මට අවශ්‍ය නෑ…

ඒ හින්දම සදෙව්මි මගෙ හදවතේ ලස්සනම තැනක ඉන්නව…මගෙ පුංචි වුන් තුන් දෙනා වට කරගෙන මම සදෙව්මි ගැන කියා දුන්න…අප්පච්චි අවට ලෝකයේ මොන තරම් සැඩසුලං හැමුවත් හිතේ සංතෝසෙන් ඉන්න අපූරු රහස සදෙව්මි වගෙ කොන්දේසි විරහිතව අප්පච්චිට ආදරය කරන මනුස්ස දූවරු මනුස්ස පුත්තු බව මා කියා දුන්න…

ආදරණීය සදෙව්මි දූ,

මගෙ ලෝකයේ උඹ ජීවිතේ ඉහළින්ම සමත්…

නුඹට තෙරුවන් සරණයි…

ඩොක්ට අන්කල් – ලක්මාල් කුලසේකර





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: