hit counter

2025 දෙසැම්‍බර් මස 13 වන සෙනසුරාදා

2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:14



ජනප්‍රිය ගායක මදුමාධව අරවින්ද කියන්නෙ, ගයන්න වගේම ලියන්නත් අපූරු හපනෙක්.

ඔහුගේ ෆේස්බුක් ලියමන් දකින ඔබත් ඒ කතාවට එකඟ වෙනවා ඇති.

වෘත්තීය ජීවිතය තුළ මුණගැහුණු චරිත ගැන, මුහුණ දුන්නු අත්දැකීම් ගැන මදුමාධව හරි රහට වචන ගළපනවා.

එහෙම ලියමනක්, ප්‍රියංකර පෙරේරා වෙනුවෙනුත් ඔහු මෙයාකාරයෙන් අකුරු කර තිබුණා….

”පුතේ වැදපන් දෙන්නටම පාවඩ දාල. ඒත් උබ මාරම, ගෑනියෙක් අසෝකමාලා…

පේලියකින් ලියන්න බෑ.. මේ ටික් ටොක් හුලගක් නොවන නිසා.. දිගට කියවන්න බැරි අය හෙඩිම බලල යන්න.. අකුරු දිගේ ඇවිදින අය.. එන්න අපි යමු… අරවින්ද යායට….

මාලිගාවත්තෙ අලුත් සුවද එක්ක හිනාවෙන කාලෙක.. පංසල පාරට හරවන සුදු පැහැති කාර් රථය… ඇමීබා යන නමින් හදුන්වන රියදුරු, බී 15 තට්ටු නිවාසය පැත්තට හරවන්නේ තිරිංග තද නොකර, ක්‍රීස්…… හඩින් තක්කඩි ලෙස කැපෙන වාහනයේ සද්දෙට…

මාලිගාවත්ත ගෙවල් ඇතුලෙ ඉන්න..

ලස්සන සමනලියන්…

ජනෙල් රෙද්දට මුවා වෙලා… හොරෙන් බැලුවා…

අදික මිල වර්ගයේ සුවද විලවුන් සුවද ට වඩා ඒ සමනලියන්ට මේ රූපය සුවද උනා උන් මුමුනන්න ඇති උන්ගෙ රෝස පාට හිත්වලට ….මෙහෙම…

“අන්න අදත් අරයා එනවා ..”

මනමාල හිනාවෙන් , හැංගිල බලන සමනලියන්ට පැනි හිනා සංග්‍රහයක් විද්දට.. ඒකා අහංකාර පෙනුම තියෙන , නිරහංකාර . ආඩම්බර නලුවෙක්..

ඒ හිනාව එදත් හරි ආඩම්බරයි මගේ අයියේ..

ඒත් මන් දැක්ක එක දවසක ඒ හිනාව උබෙන් නැති වෙනවා……

සිහින් දිග මෝර් වර්ගයේ සිගරට්ටුව තක්කඩි ලෙස කටේ කෙලවරක ගහගත්ත..

ලස්සනම ලස්සන නලුවා…

වංගුවෙදිම කෑ ගහනවා…

“ඒයි…ඉක්මනට වරෙන්…. කියලා….”

අනූව දශකයට ඉර පායන්නේ… අසූ අට අසූ නවයේ රිදුන තැවුන භීෂණ කාලය අමතක කරවන්න… ඉතිං… මීනිස්සු හිනා හෙව්වා, සතුට හෙව්වා.. අලුත් හෙවනවල් හෙව්වා…

ඒ හෙවිල්ලේ නවතම ගොදුරක් වෙච්ච අලුත උපන් ගායකයෙක්ව , එකල අනෝරා වැස්ස වගේ ලංකාවෙ තිබ්බ ප්‍රසංග මිනිස්සු ගෙන්න ගත්ත…

එයාට වාහනයක් නෑ … හයර් එකට ගත්ත වාහනෙන් තමයි ශෝ වලට යන්නෙ….

ඒත්.. මේ මාලිගාවත්තට හරවපු කාර් එක හයර් වාහනයක් නෙවෙයි….

එහෙම එක එකාව ගන්න ගෙවල් ගානේ යන

වාහනයකුත් නෙවෙයි…

මහා ආඩම්බර පපුව ලස්සන.. අය්යෙක් මල්ලියෙක්ට කියනව…

“හයර් එකට යන්න එපා බන්..

ඉක්මනට වාහනයක් ගනින්..

එතකන් පුලුවන් වෙලාවට ..

එකට තියෙන ශෝ වලට මන් එන්නම් එකන් යන්න….,”

එහෙම එකට ශෝ අටකට යන්න තිබ්බ දවසක… අපි පිටත් වෙන්න යන්නෙ….

ඔව් අලුත් ගායකයා මම…

ලස්සනම ලස්සන පපුව හොද ආඩම්බර කාරයා.. ප්‍රියංකර පෙරේරා..

ප්‍රියංකර අයියා….

ප්‍රසංග වලට යනකොට අම්ම තාත්ත එනවා..

ඒත් සිංදු කියන අයියල අක්කල එක්ක මාව තනියෙම යවනවා… එහෙම අපේ ගෙදර යටට මාව අරන් යන්න ආවෙ , ලොකුම ලොකු කදු, මහා වනස්පති කියල මට එදා සත්තමයි තේරුනේ නෑ….

මම කුරුල්ල මිටෙන් ඇරිය වගේ..

දුවගෙන ඇවිත් වාහනේට පනින කොට..

කට කොනෙන් වලත්ත හිනාවක් දාන..

මේ මනුස්සයගෙ හිනාවෙ තිබ්බ සත්තකින්ම කුමාර ආඩම්බරයක්…

ඒත් මගෙ අයියේ..

මන් දැක්ක දවසක ඒ හිනාව අයියගෙ මූනෙන් නැති වෙනවා…

ඇත්තටම මම දැකපු ලස්සනම නලුවා…

නලුකමට වඩා සංගීතයට ආදරේ කල.

එහෙම යන දවසක මන් තොරතෝංචියක් නැතිව හැම දේම කියවනවා..

ප්‍රියංකර අය්යත් රසම රස අපේ ගායකයන්ගෙ නලු නිලියන්ගෙ කතා කියනවා….

ඈත ප්‍රසංග වලට යනකොට හෝටලයක කාමරයක් අරන් හොදට එක්කො යන ගමන් ගගක නාල ගිහින් පොඩි මදු විතක් තොල ගාන ගමන් ඒ පරන කතා.. අහන්න තවමත් මගෙ හිත පෙරේතයි…

ජෝති මාමලගෙ මිල්ටන් මාමලගෙ රස බේරෙන කතා වගේම නලු නිලියන්ගෙ පැනි වෑහෙන කතා ප්‍රියංකර අය්ය කියල හැක හැක ගාල හිනා වෙනවා….

ඒ හිනාව ඇත්තටම හරි අහංකාර ආඩම්බර ලස්සන හිනාවක්…

ඒත් මගෙ අයියේ.. දවසක මම දකිනව ඒ හිනාව අයියගෙ මූනෙන් නැති වෙනවා…

ප්‍රියංකර අයියේ…. දවසක මන් වාහනේ පිටිපස්සෙ ඉදන්…කියනව…

ඔව්.. කියපං… ප්‍රියංකර අයියා ඉස්සරහ බලන් කියනව….

මම බදිනව…..

සයිඩ් කන්නාඩියෙන්.. මට පේනවා..

කටේ කෙලවරක දැල්වෙන සිගරට්ටුව ට උඩින්.. දුම් වලල්ලක් කිසිම පිලිවෙලක් නැතිව..

හැඩි වෙවී හුලගට මුසුවෙනවා….

ටිකක් වෙලා නිහඩව ඉදල…

එක පාරටම හැක හැක ගාල හිනා වෙනව මේකා..

හිනාව නවත්තල එක පාරටම සැක හැරගන්න වගේ අහනව…

අරකිව නේද….

මම අලුත උපන් තුන් කුලුදුල් දරුවෙක් වගේ..

ඔව් කියනව..

මොකද මගෙ යුද රහස් ඔය කියන ලොකු අයියා දන්න නිසා…

හැබැයි.. ඒ ලස්සන මල් එකින් එකට පාර පෙන්නල මාව මුලින්ම බන්දන දා…

මට එයා තැග්ගක් දෙනව…

ඔව් ඔව්.. හැමෝම කතා වෙනව උබල බදියිද නැත්තම් නැතිවෙයිද කියල….

“ඔව් දැන් උබත් ඇති මල්ලි නැටුවා..

බැදපන්.. ඒකිත් හිත හොද කෙල්ල නෙ…”

මහා ලොකු තාත්තෙක් වගේ ප්‍රියන්කර අයියා කියනවා…

හරි උබ බදිනදා..

ෆුල් සුට් එක මගෙන්…

ඇත්තටම එහෙම තමා උනේ…

එදා ඇදුම මට තෑගි දුන්නෙ ප්‍රියන්කර අයියා…

ඒත් පස්සෙ කාලෙක සමන් ද සිල්වා අයියා ප්‍රියන්කරගෙන් ඇහුවා…

මම තව සැරයක් කසාද බදින්න යනකොට..

සමන් අයිය ඇහුව මෙහෙම..

ප්‍රියංකර … උබ මේ පාර මදුවට කෝට් එක දෙන් නෑද….

ඒ සමන් අයියගෙ සුන්දර හැකර කට…

කට කොනක හිනාව එක්ක..

ප්‍රියංකර මෙහෙම කියපි..

පිස්සුද බන්….

මූ බදින බැදිල්ලට කෝට් සූට් මහල දෙන්න ගියොත්…

මම පාරට වැටෙන්නේ..

මූට සූට් ම මහල..

මූ එසේ මෙසේ බැදිල්ලක් යැ බදින්නේ…

අපි කෑ ගහල හිනා උනා…

අනේ මගෙ අයියේ…

උබේ කකුල අයින් කරපු දා….

ඒ ආඩම්බර ආදරනීය හිනාව…

හොරු අරන් ගියා……

අපි මීක් නැතිව නිහඩ උනේ…

මොනව කියන්නද… දන් නැතිව…..

මගේ අයියේ….

ආදරනීය පුතේ…

අපි දැනන් හිටියා ඒ හිනාව..

ඒ ආඩම්බරය …

ආයෙමත් ප්‍රියංකර අයියගෙ මූනෙන්..

අපිට කවරදාවත් දකින්න බැරි වෙන බව…

කොච්චර ඉරි තලන්න ඇතිද පපුව…

උබේ වගේම.. දිල්හානිගෙයි පුතාගෙයි…

කකුල අයින් කරන වෙලේ… මගෙ අයියේ…

ඒකිත් දේදුන්නෙන්ම ආව නිලි සමනලියක් විතරක්නම්….

අත හැරල ඈතට පියාබන්න හිතෙන්න තිබ්බ ඕනෙනම්…

දේදුන්නෙන් ආපු සමනලියට උබව….

පුතේ උබෙ අම්මට ඕනෙනම් හැංගෙන්න තිබ්බ… සමනල කන්දෙත්….

ඒත් . දිල්හානි එයාගෙ පිංකල් ව ..

එයාගෙ පුතාගෙ තාත්තව…

ආයෙමත්……

ඔව් ආයෙමත්… හිනැස්සුවා….

මම ඊයෙ දැක්ක….

මගෙ අයියේ…

පිරිමියෙක්ගෙ මූනට එන ආඩම්බරම හිනාව…

මම දැක්ක ලස්සනම පිරිමි හිනාව…

ඊයේ පුතේ උබටටයි අම්මටයි පිං සිද්ද වෙන්න..

ඔය ප්‍රසංගය පස්සෙ හිටිය ආදරනීය පපුවලට පිංසිද්ද වෙන්න….

මුලු ලෝකෙම දැක්ක…

අපි මැරෙනකම්..

අමතක නොවෙන්න..

උබලගෙ අම්මා…

ඒ තාත්තව හිනස්සල..

වේදිකාවෙ ඉදන්..

බබෙක් වගේ හිනා වෙලා…

එක පාරටම කෙලින් හිටගත්තා…

මම අදුනනව ඒ ගෑනුව…

ඇස් වලින්හිනා වෙන, සරලව කතා කරන

ඕන දේකට හැක හැක ගාල හිනා උන ඒ දේදුන්නෙන් ආපු උබේ අම්මා…

විතරක් දන්න..

උබලගෙ ආඩම්බර තාත්තගෙයි

එයාගෙයි…

ජීවිත කතාව… එයාල මුල් කාලෙ පාට කරේ නෑ..

උබව එනකම්ම වගේම උබ ආවට පස්සෙත් ඒක ගොඩ නැගුනා…

අපේ කසාද වගේම සමකාලීන හිතවතුන්ගෙ කතා ඉවර වෙලා නිහඩ වෙද්දි..

ලොකු පාටක් නැතුව.. නමුත් ආදරනීයව ගලපු..

ඒ කතාවේ… ගායකයා ඊයේ පැරදුනා..

නිලිය ඊයේ පැරදුනා….

මුලින් නිහඩව ගලපු…ඒ ආදර කතාව..

මුලු ලෝකෙම…

මහා මුහුදක් වගේ ඊයේ දැක්ක….

ඔව් ඒ උබලගෙ අම්මගෙ පිංකල්..

ඔව් ඒ උබලගෙ ආඩම්බර තාත්තගෙ සිහින දෙව්දුව…

උන් තනියම පාට කරපු ආදර කතාව…

ඊයෙ පුතේ මුලු ලෝකෙම පාට කරා…

අපේ ආදරනීය මිනිස්සු..

උබේ අම්මව පාට කලා….

මෙච්චර කල්හැංගිල තිබ්බ උබේ තාත්තගෙ හිනාව දැකල ඇස් වලින් අපි බේරෙන කදුලු අස්සෙත් පාට කලා….

උබ වගේ ලස්සනම ලස්සන පුතෙක්ට…

උබේ සීයා ..

උබේ තාත්තා..

උබේ අම්මා විතරක් නෙවෙයි….

මුලු ලෝකයක්…

එකපාරටම…

මිනිස්සු පතන්න ඇති…

මේ දරුවට තව තව හරියන්න…

ඒ ක පුතේ උබටවත් දැන් නවත්තන්න බෑ..

උබට දවසක කෑ ගහල කියන්න පුලුවන් වෙයි..

මේ ලෝකෙ ලස්සනටම පාට කරපු..

කඩන් වැටුන නැගිට්ට..

ආදරකතාව….

ලිව්වෙ අපේ පපුවල..

උබෙ අම්මයි

උබෙ තාත්තයි කියල..

පන ටික තිබ්බොත්..

උබ එහෙම කියන කවදා හරි දවසක..

මමත් මගෙ රටේ උනුත්.. සාදු කාර දෙන්නම්…

ඔව්… ඒක ඒ තරම්ම ලස්සන සුරගනා කතාවක්… අපි ඇත්තට දැක්ක…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: