hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2022 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 10:43



හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මිය මත්ද්‍රව්‍ය තොගයක් සමග පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.

නමුත් එම වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඒ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදුකරන බවත් පොලිසිය සඳහන් කළා.

මල්ෂා කුමාරතුංග මහත්මිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තමබින් ඇය මේ බව සඳහන් කළා.

“මගේ මෝටර්රථයේ මත්ද්‍රව්‍ය ගෙනයාම නිසා බොරලැස්ගමුවේ දී අත්තඩංගුවට පත් වූ බවට සමාජ මාධ්‍ය තුළ පැතිරෙන අසත්‍ය සහ පදනම්විරහිත චෝදනා මම තදින්ම සහ ඉතා දැඩි සේ ප්‍රතික්ෂේප කරමි.

එවැනි ද්වේශසහගත අසත්‍යයක් පැතිරවීමට හේතුව කුමක්දැයි මා නොදන්නාමුත්, මින් පෙර දේශපාලනයේ නියැලුණු පුද්ගලයෙකු වීම නිසාවෙන් එවැනි චෝදනා එල්ල වීමට ඉඩ ඇති බව ද මට පැහැදිලිව වැටහේ.

මට එරෙහිව එවැනි අත්තඩංගුවට ගැනීමක් සිදුනොකළ බව හෝ වෙන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බව පොලීසිය විසින් ජනමාධ්‍යයට ප්‍රකාශ කර තිබේ. මා විසින් එම විනාශකාරී බොරුව සමාජ මාධ්‍ය තුළ මුලින්ම ප්‍රචාරය කළ පුද්ගලයාට එරෙහිව පොලීසියේ පැමිණිල්ලක් ද ගොනු කර තිබේ.

මෙවැනි චෝදනා නිසා පුද්ගලයෙකුට ඇති වන වේදනාව සහ නැවත හැරවිය නොහැකි හානිය අතිශය දරුණු ය.

WhatsApp හරහා යවන පණිවිඩ සහ ඕපාදූපවලට තටු දෙන ආකාරයේ ප්‍රචාර නොකරන මෙන් මම ජනමාධ්‍යවලින් කාරුණිකව ඉල්ලා සිටිමි. මාධ්‍යවේදීන් සහ ඔවුන් ඉටුකරන අසීරු කර්තව්‍යය ගැන මා තුළ ඇත්තේ අතිශයින්ම ගෞරවනීය හැඟීමකි. කෙසේ වුවද, බොරුවක් මත පදනම්ව මානසිකව වේදනාව දනවන ආකාරයේ ප්‍රවෘත්ති නිර්මාණය කිරීම නිසා එම ගෞරවනීය වෘත්‍තිය කෙලෙසෙන බව ද, එවැනි ප්‍රවෘත්ති සඳහා ආවරණය ලබාදෙන මාධ්‍ය ආයතනවල විශ්වසනීයත්වයට ඉන් හානි වන බව ද සටහන් කළ යුතුම ය.”