hit counter

2025 නොවැම්‍බර් මස 19 වන බදාදා

2025 නොවැම්‍බර් 19, ප.ව. 5:24



ජපානයේ වාසය කරන ප්‍රකට අන්තර්ජාල චරිතයක් වන රජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිය මෑතක ඉදිරිපත් කළ මෝටිවේශනල් වීඩියෝවක් මේ දිනවල දැඩි සමාජ කතාබහට හා විවේචනයට ලක්ව තිබේ. රජීව් රාජපුත්‍ර කාලයක් තිස්සේ තම විශාල පවුල සම්බන්ධයෙන් ව්ලොග් ඉදිරිපත් කළ අතර මෑතක සිට මෝටිවේශනල් වීඩියෝ ද ඉදිරිපත් කරයි. කෝටිපති ව්‍යාපාරිකයෙකු වන රජීව්ගේ බිරියද කෝටිපති පවුලකින් පැවත එන්නියක් වන අතර ඇය ප්‍රකට දේශීය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනගේ දියණියයි.

ඇය මෑතකදී ඉදිරිපත් කළ මෝටිවේෂනල් වීඩියෝවකදී ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් වැරදි මතයක් සමාජගත කිරීමට ගියැයි විවේචනයට ලක්ව ඇත්තේ, ඇඳුමක අවුලක් හෝ කාන්තාවන්ගේ “සිග්නල්” එකක් නොමැතිනම් පිරිමින් කිසිවක් නොකරන බවට ප්‍රකාශ කිරීම හේතුවෙනි. ජපානයේදී මිනිත්තු පහක පාසල් ගමනට පවා තම පුතුන්ව මෝටර් රථයෙන් රැගෙන යන, පොදු ප්‍රවාහන සේවයේ අත්දැකීම් නොමැති රාජපුත්‍ර බිරිය මෙලෙස ප්‍රකාශ කිරීම පොදු ප්‍රවාහනයේ ගමන් කරන කාන්තා ප්‍රජාවගේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

අද දිනවලදී බස් රථවල හෝ දුම්රියවල දැඩි තදබදයකින් යුතුව, දෛනික ජීවන අරගලය සමඟ පොරබදමින්, හිංසනයට ලක්වන ශ්‍රී ලාංකීය කාන්තාවන්ගෙන් සමාව ගත යුතු බවටද ඇයට චෝදනා එල්ල වේ. සඳළුතලාවෙන් මහපොළවට පැමිණ දින සතියක්වත් දුර ගමන් බස් රථයක හෝ කාර්යාල දුම්රියක ගමන් කර, මහ දවාලේ කොළඹ බැස්ටියන් මාවත හෝ ගුණසිංහපුර වැනි ප්‍රදේශවල ඇවිද යන ලෙසටද විවේචකයන් ඇයට අභියෝග කර ඇත.

මෙරට බිළිඳියන්ගේ සිට පාසල් දැරියන් දක්වා මෙන්ම හැත්තෑව අනූව වයස් කාණ්ඩවල කාන්තාවන් කිසිඳු ඉඟියකින් තොරව අපයෝජනයට ලක්වන බවත්, ආබාධිත හා මියගිය කාන්තාවන් පවා අපචාරයන්ට ගොදුරු වන බවත් සමාජයේ තර්කයයි. පාසල් නිල ඇඳුම ඇඳ සිටින කුඩා දරුවන්ට හෝ රාත්‍රියේ නිදා සිටින දරුවන්ට කරදර සිදුවන්නේ ඔවුන්ගේ ඉඟි නිසාදැයි ප්‍රශ්න කරන පිරිස් පෙන්වා දෙන්නේ, තමන්ගේ නිවසේ සිට අල්ලපු ගෙදරට පවා වාහනයෙන් යන රාජපුත්‍ර බිරියට සමාජයේ සැබෑ අත්දැකීමක් නොමැති බවයි.

පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන කාන්තාවන්ට සිදුවන පීඩාව දන්නේ දවසක් හෝ එසේ තෙරපුණු මිනිසුන් පමණක් බවත්, කාන්තාවන්ට ආරක්ෂිතව දරුවන් පාරේ යවාගැනීමට නොහැකි සමාජයක කාන්තාවන්ම සිග්නල් දෙන බව පැවසීම මහා අපරාධයක් බවත් විවේචකයෝ පවසති. මෙම ප්‍රකාශය වැඩිහිටි කාන්තාවන්ට පමණක් කළ කතාවක් ලෙස තර්ක කළද, වසර ගණනාවක් තිස්සේ මානසික හිංසනයට ලක්වන කුඩා දරුවන්ගේ මානසිකත්වයට සිදුවන බලපෑම ඇය නොදන්නා බවටද චෝදනා නැඟේ.

විවේචනවලින් පසු ඇය සිය වීඩියෝවට අදහස් දැක්වීම් (comments) අක්‍රිය කර තිබූ අතර පසුව වාර්තාව‍ූයේ වීඩියෝවම ඉවත් කර ඇති බවකි. ලැබෙන ප්‍රතිචාර අනුව තමන් සියල්ල දන්නා බවට ඇතිවන මානයක් හේතුවෙන් මෙවැනි ප්‍රකාශ නිකුත් වීම අරුමයක් නොවන බවත්, තම වපසරියෙන් පිටත, අත්දැකීමක් නැති දේවල් ගැන අදහස් දැක්වීමේදී මීට වඩා පරෙස්සම් විය යුතු බවත් ඇතැමෙක් පෙන්වා දෙති. දුෂණයට ලක් වූ කාන්තාවන් බුර්කා, ඩෙනිම්, ටී-ෂර්ට් වැනි ඇඳුම් ඇඳ සිටි අවස්ථා ඇති බැවින් ඇඳුම මත අපචාර සිදුවීමක් වැළැක්විය නොහැකි බවටද මත පල වේ.

ප්‍රකට ව්‍යාපාරිකයෙකුගේ දියණියක් වීම හා කෝටිපති සැමියෙකු ලැබීම නිසා ඇය කියන ඕනෑම දෙයක් “වදනක්” සේ සිතා සිටියද, එය එසේ නොවන බව විවේචකයෝ පෙන්වා දෙති. කෙසේ වෙතත්, මුදලින් මිලදී ගත නොහැකි මොළය, සමාජ තත්වය, මනුස්සකම සහ සහකම්පනය වැනි මානුෂීය ගුණාංගවලින් තොර බවට ඇයට චෝදනා එල්ල වන අතර, ඇය මුළු මහත් කාන්තා සංහතියටම එරෙහිව කටයුතු කළ බවට ද දැඩි විවේචන එල්ල වී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: