hit counter

2025 ඔක්‍තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 12:09



රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා විසින් රජයේ වාහනයක් අවභාවිත කළැයි සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය කළ පිරිසකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට පැමිණිලි කිරීමට සූදානම් බව ඇය පවසයි.

මෙම ව්‍යාජ ප්‍රචාරයන් අන්තර්ජාල හිංසනයක් ලෙස සලකන බැවින් එයට පිළිතුරු දීමක් ලෙස පැමිණිලි කිරීමට බලාපොරොත්තු වන බව ඇය පවසයි.

වාර්තාවන ආකාරයට ඇය විසින් රාජ්‍ය සංස්කෘතික වැඩසටහනකට ස්වෙච්ඡාවෙන් සහයෝගය ලබා දීම සඳහා ඇය ත්‍රීරෝද රථයකින් බැරිස්ටා අවහන්හලකට පැමිණ තිබෙනවා.

එම අවස්ථාවට ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ සිතුමිණි රත්මලල ඔහුගේ කටයුතු සඳහා භාවිතා කරන, රාජ්‍ය ලාංඡනය යොදා ඇති රථයකින් සහභාගී වී ඇති අතර යම් පිරිසක් විසින් එම අවස්ථාවට අදාළව ඡායාරූප ලබාගෙන එම රථය සමනලී ෆොන්සේකා පැමිණි රථය ලෙස සඳහන් කරමින් සමාජ මාධ්‍ය තුල අදහස් පළ කිරීම් සිදු කර ඇත.

කෙසේවෙතත්  සමනලී ෆොන්සේකා මේ සම්බන්ධයෙන් තම ෆේස්බුක් ගිණුමෙහි සටහනක් පළ කර තිබුණා.

ඇය එම සටහන මගින් සඳහන් කර තිබුණේ, රජයේ වාහනයක් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්පූර්ණයෙන්ම සාවද්‍ය බවත්, එම ව්‍යාජ ප්‍රචාරයන් තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත රාජ්‍ය සංස්කෘතික උළෙලක් සඳහා යෝජනාවලියක් සකස් කිරීමේ මූලික ස්වේච්ඡා හමුවක් වෙනුවෙන් නුගේගොඩ පිහිටි බැරිස්ටා අවන්හලකට ගිය බව සමනලී ෆොන්සේකා එහිදී සඳහන් කළා.

කෙසේවෙතත් සමනලී ෆොන්සේකාගේ අවසරයකින් තොරව ලබාගත් ඡායාරූපයක් සහ එළියේ නවතා තිබූ රජයේ ලාංඡනය සහිත වාහනයේ අංක තහඩු සහිත ඡායාරූපය එක් කරමින්, එය ඇයගේ වාහනය ලෙස අසත්‍ය ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ජාලා හරහා ගෙන ගොස් තීබෙනවා.

ඒ පිළිබඳව සඳහන් කරමින් සමනලී ෆොන්සේකා  ෆේස්බුක් සටහන මගින් වැඩිදුරටත් අවධාරණය කළේ,තමන් කිසිම රාජ්‍ය ආයතනයක නිලතලයක් කිසිම දවසක දරා නොමැති බවත්, මේ වන විටත් නිලතලයක් නොදරන බවයි.

ඇය සතුව ඇත්තේ පෞද්ගලිකව පරිහරණය කරන,කල්බදු ණය පදනමක් මත වාරික ගෙවාගෙන යන වාහනයක් පමණක් බවට පැවසූ සමනලී ෆොන්සේකා සඳහන් කරන්නේ, අනවසරයෙන් ඡායාරූප ලබාගත් පුද්ගලයාට එරෙහිව සහ සාවද්‍ය චෝදනා සම්බන්ධයෙන් තම නීතිඥවරුන් ලියකියවිලි සකසමින් සිටින බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: