hit counter

2025 ජූලි මස 25 වන සිකුරාදා

2025 ජූලි 24, පෙ.ව. 12:11



සාරංග දිසාසේකර නම් දක්ෂ නිවේදකයාව දුටු, ප්‍රවීණ නිවේදක නදීක කරුණානායක….

”සාරංග දිසාසේකර…

ඔහු නළුවෙක්ද? නිවේදකයෙක් ද? නැතිනම් ඒ භූමිකා දෙකටම දක්ෂයෙක්ද..

පසුගියදා අවසන් වූ සුමති ටෙලි සම්මාන රාත්‍රියේදී ඔහු වසරේ හොඳම රූපවාහිනි නිවේදක සම්මානය දිනා ගත්තා. ඒ සමග සමාජ මාධ්‍ය තුල ඔහු ගැන සහ ඔහු එම සම්මානයට නුසුදුසු බව ඇතැමුන්ගේ මතය වුණා.

නමුත් අවුරුදු 26ක් මාධ්‍ය ක්ෂේත්‍රයේ සිටින ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස සුමති සම්මාන 5ක් හිමිවූ මා ඒ සිද්ධිය දකින්නේ වෙනත් ආකාරයකින්.

මා ජාතික ගුවන් විදුලියේ සන්නිවේදකයකු ලෙස කටයුතු කල කෙටි කාලය තුල (1999-2002) නිතර නිතර ජාතික ගුවන් විදුලියේ දුටු චරිතයක් තමයි සාරංග දිසාසේකර.

තම මව වූ ප්‍රවීන ගුවන්විදුලි නිවේදිකාවක වූ තිලකා රණසිංහයන් සමග සාරංග දිසාසේකර අපට නම් එදා හුරුපුරුදු ළමා නිවේදන ශිල්පියෙක්.

සාරංග කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ හතර පහ වසරවල ඉද්දි පාසැල් වේලාව අවසන් වූ පසු කෙලින්ම එන්නේ ගුවන් විදුලි සංස්ථාවට.

තිලකා අක්කා සමග ගෙදර යන්න ඉස්කෝල වෙලාවෙන් පස්සේ ගුවන් විදුලියේ ඇවිද ඇවිද ඉන්නකොට දවසක් මහින්ද අල්ගම අයියා ඔහුටත් එන්න කියනවා ළමා පිටිය වැඩසටහන් කෙරෙන මැදිරියට…

බලාගෙන ඉන්න තමයි සාරංගට මුලින්ම දෙන්නේ..

ඊට පස්සේ ටික කලක් ගියහම සාරංග හඬ පරීක්ෂණයට සහභාගි වුණා. ළමා ශිල්පීයෙක් විදිහට ගුවන් විදුලියට සාරංග එන්නේ ඒ විදිහට.

පරීක්ෂණය සමත් වුණාට පස්සේ ඔහුටත් දුන්නා ලිපි කියවන්න

ඔය අතරේ. ළමා නාට්‍ය ශිල්පී පරීක්ෂණයක් තිබුණා..

එයට ඉදිරිපත් උනහම එයිනුත් සමත් වෙලා ඔහු නාට්‍යවලටත් සහභාගි වුණා…

ඒවා හොඳින් කරගෙන ගියා.. ඔය අතරේ ගායන පරීක්ෂණයක් තිබුණා. එයිනුත් සමත් වුණා. ඒත් ගායනයට එතරම් දක්ෂකමක් තිබුණේ නැහැ. මොකද පොඩි කාලේ සාරංගගේ උගුර බැරැන්ඩි පොඩි කාලේ. ඒක තිලකා ඇන්ටිත් දන්නවා පුතාට සින්දු කියන්න ඒ කාලෙ බෑ කියලා.

ඔය විදිහට ළමා නිවේදකයකු විදිහට සාරංග ඒ කාලේ වැඩ කලා.

1993 දී ලෝක ළමා දිනයේ ගුවන් විදුලියේ සවදේශී සේවයේ උදෑසන විකාශන ආරම්භක නිවේදනය කරන්නත් ඔහු වාසනාවන්ත වෙනවා.

එය ඔහුට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්..

ඒ වගේම තවත් විශේෂ අවස්ථාවක් තියෙනවා. සාරංගගේ අම්මා තිලකා අක්කා ගුවන් විදුලියේ සවස හතරට වෙළඳ සේවයේ ළමා ගීත වැඩසටහන ඉදිරිපත් කරද්දී සාරංග පුතා ස්වදේශීය සේවයේ ළමා පිටිය වැඩසටහන සවස හතරට ඉදිරිපත් කරනවා.

අම්මයි පුතයි දෙන්නා එකම වෙලාවට ගුවන් විදුලියේ මැදිරි දෙකක වැඩ.

ඔය අතරේදී සාරංග මල්ලි රූපවාහිනියේ හඬ නළු පරීක්ෂණ යෙන් සමත් වෙනවා.

හුඟාක් නාට්‍යවලට සාරංග හඩ සැපයුවා.. ඒවා හුඟාක් ජනප්‍රිය නාට්‍යය වුනා. තවමත් ඒවා ගැන බොහෝ දෙනා කතා කරනවා.

සාරංග පාසල් අවදියේ සිටම කලාව පැත්තෙන් හරඹ පා තියෙන්නෙ නිවේදනයෙන්. පාසල් වේදිකාවත් ඊට පසුව වෘත්තීය මට්ටමේ නිවේදකයෙක් විදිහට.

ඉසව් සහ උත්සව අවස්ථා නිවේදනයේත් කැපී පෙනෙන චරිතයක්. අදටත් ඔහු රංගනයට අමතරව ආදායම් ලබන්නේ නිවේදනයෙන් සහ වෙලද දැන්වීම් සඳහා හඬ කැවීමෙන්.

මෙවර සුමති සම්මාන වේදිකාවේ සාරංග වසරේ හොඳම රූපවාහිනි නිවේදකයා වීම මට නම් පුද්ගලිකව ගැටලුවක් නැත. මන්ද ඔහු හොඳ නිවේදකයෙක් යන්න මා ඔහුගේ හැකියාවන් දැක ඇත.

හඬ පෞර්ෂය, දැනුම , භාෂා භාවිතය සහ භාෂාවබෝධය , ප්‍රියමනාප බව, කථනයේදී භාවිත ආංගික චලනය , නිදහස් බව , සංයමය, ස්වභාවිකත්වය සහ නිර්මාණශීලීත්වය ඔහුගේ ඉදිරිපත්කිරීමේ කෞශල්‍ය තුල පිලිඹිබු වෙනවා.

මම ඔහුට හදවතින් සුබ පතනවා.

සාරංගව මෙතැනට ගේන්න ගොඩක් මහන්සි වුනේ තිලකා ඇන්ටි…”

උපුටාගැනීම : Nadeeka Karunanayaka ෆේස්බුක් පිටුවෙන්





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: