hit counter

2024 මැයි මස 20 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 4:36



ජීවිතයේ අපිට හමුවන සමහර කතා ඉතාමත් සංවේදීයී.

ඒ සංවේදී කතා මේ රටේ ලෝකයේ ඇත්තටම සිදුවන කතාවන්.මේ කියන්න යන කතාවත් සමාජ ජාලා තුල පල වූ සත්‍ය කතාවක්.

මේ සටහන තබන ආදරණීය පුද්ගලයාගේ මිතුරකු විසින් සිදු කල ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔහු තැබූ සටහනක්.

මෙය ඔබව හඬවනු නොඅනුමානයි.

මේ චායාරූපයේ කතාව ඇහුණහම හදවත නැවතුනා වගේ දැනුනා..

අම්පාර උහන දැනට වසර හතළිහකට පමණ ඈත අතීතයේ සිට වසර කිහිපයක් මට සමීප ප්‍රදේශයක්..

උහන නගරයේ උහන කණිෂ්ඨ විද්‍යාලය පසුගිය කාලය පුරා ඉතා ඉහල අධ්‍යාපන ප්‍රතිඵල පෙන්නපු පාසලක්…

නැගෙනහිර පළාතේ ශිෂ්‍යත්ව විභාගයේ ඉහලම ප්‍රතිපල පෙන්නපු පාසල බවටත් පත්වුණා..

පසුගිය වසර දහයකටත් වැඩි කාලයක් එහි විදුහල්පති ධුරය දැරුවේ ජයන්ත රත්නායක මල්ලි..

අහම්බෙන් මුහුණුපොතේ සටහනකින් අතීතයේ ඔහුගේ වැඩිමල් සොහොයුරිය ක්‍රීඩා ආචාර්යවරියක් ලෙස ඒ ඈත අතීතයේ අප හා තිබූ සම්බන්ධතාවයන් හරහා ඔහු හා මිත්‍රත්වය ගොඩනැඟුණා…

ජයන්ත මල්ලි දක්ෂම විදුහල්පතිවරයෙක් ලෙසද අධ්‍යාපන අමාත්‍යංශයේ කිහිපවතාවක්ම සම්මාන දිනා තිබෙනවා..

උහන කනිෂ්ඨ විද්‍යාලයේ ද පසුගිය කාලසීමාව තුළ ඉතාමත් ඉහළ මට්ටමකට අධ්‍යාපනික හා බාහිර අංශ වලින් පත්වුණා..

දිගුකාලීන උහන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ධුරයෙන් ජයන්ත මල්ලි පසුගියදා සමුගත්තේ අම්පාර නගරයේ විදුහලක විදුහල්පතිවරයා වශයෙන් පත්ව යාමටයි…මේ ඔහු සමු ගත් පසුව සති දෙක තුනකට පසු පැවති උපහාර උළෙලේ ඉතා සංවේදී මොහොතක්…

ඡායාරූපය යට කතාව සැබැවින්ම හිත කීරි ගස්සනවා..

ජයන්ත මල්ලි ගේම ශිෂ්‍යයෙක් දැනට කලකට පෙර විවාහ වෙනවා..

ඔහුට ලැබෙන්නේ පුතෙක්..

ඒ පුතාට වයස අවුරුදු දෙකක් වන විට ඒ කුඩා දරුවාගේ මව සැමියාත් දරුවාත් හැර යනවා..

ඉන්පසු ජයන්ත මල්ලිගේ ගෝලයාගේ , තාත්තාත් අම්මාත් දරුවාගේ ආත්තම්මත් සීයාත් සමගින් සහ පියා සමඟින් දරුවා සිටින්නේ..

පසුගිය වසරේ ඒ දරුවා පාසලට ඇතුළත් කර ගැනීමේ වයසට පැමිණෙනවා..

යම් යම් ලිපි ලේඛන වල අඩුපාඩු තිබුණත් මේ අහිංසක දරුවා තම විදුහලට ජයන්ත මල්ලි ඇතුලත් කරගන්නවා..

පසුගිය වසරේ දරුවා පාසලට ඇතුලත් කර සති කිහිපයකින් දරුවාගේ පියා කොළඹ රැකියාවකට යනවා…

කොළඹ ගොස් ටික කලකට පසු ඔහු කොළඹ ප්‍රදේශයේ ම කාන්තාවක් සමග එක්වී කොළඹම නවතිනවා..

දරුවාගේ රැකවරණයට මවත් පියාත් දෙදෙනාම නැති වෙනවා..

ඉන්පසු දරුවා අත්තම්මා සීයා සමඟයි ජීවත් වන්නේ ..

දරුවා පාසැලට බයිසිකලෙන් එක්කරගෙන එන්නේ සීයා..

අම්පාර සිට උහන පසුකර නුවර දෙසට යනවිට උහන නගර සීමාවේ තිබිණ වවුල් ගස මට තවම මතකයි..

මොකද මම 1984 අම්පාරට පැමිණි විගස ටික කලක් නවාතැන් ගත්තේ එම වවුල් ගස ඉදිරිපිට තිබූ සමර මෝටර්ස් නිවසේයි…

පසුගිය දිනෙක සිය මුනුපුරා පාසලෙන් රැගෙන යාමට පාපැදියෙන් එන සීයා එම වවුල් ගස අසල දී වාහනයක හැපී දැඩි ලෙස තුවාල ලබා ජීවිතයෙන් සමු ගන්නවා..

දරුවාට තිබූ ඒ හව්හරණක් නැති වෙනවා..

අත්තම්මා සමඟ පමණක් සිටින දරුවා ගැන ජයන්ත මල්ලි බොහෝ විමසිලිමත් වෙනවා..

පාසලේදීත් දරුවා ගැන සොයා බලනවා ඔහුගේ අඩුපාඩු ගැන සොයා බලනවා..

ඒ නිසා කුඩා දරුවා විදුහල්පතිවරයා කෙරෙහි බැඳීමක් දැඩි ලෙස සිත තුළින් ඇති කරගන්නවා…

මේ අතරතුරයි ජයන්ත මල්ලිට විදුහලෙන් ස්ථාන මාරුවක් ලැබෙන්නේ..

විදුහල්පතිවරයා නැතිබව දෙවැනි පන්තියේ සිටින මේ කුඩා දරුවාට ක්‍රමයෙන් තේරෙනවා..

පන්ති භාර ගුරුතුමිය ගෙන් “ඇයි ටීච ලොකු සර්ගේ කාර් එක නැත්තේ” “ලොකු සර් එන්නෙ නැද්ද”

” ඇයි එයා එන්නේ නැත්තේ ” මෙවැනි ප්‍රශ්න විමසනවා..

සති දෙකකට පසුව විදුහල්පතිවරයාට සමුදීමේ උළෙලක් පැවැත් වෙනවා..

ඒ උළෙලේ දී සිය කථාව පවත්වන මොහොතේ ජයන්ත මල්ලි විදුහලට තිබූ බැඳීම සහ අතීතය සිහි කරමින් කතා කරන විට මොහොතකට හැඟුම්බර වෙනවා..

ඒ දුටු මේ පුංචි දරුවා සෙනග මැදින් දිව විත් විදුහල්පතිවරයා බදාගෙන අඬනවා..

මේ ඒ සංවේදී මොහොතයි..

දරුවන් ලොවට බිහි කරන දෙමව්පියන් දරුවන් ගැන වගකීම්වලින් බැහැර වීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්…

ප.ලි.

ඒ කුඩා පුතාගේ අනාගත අධ්‍යාපන කටයුතු වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් අරඹන බව ජයන්ත මල්ලි මා සමඟ පැවසුවා.. මම ඔහුට පැවසුවේ අපටත් හැකි අයුරින් ඒ සඳහා සහාය වෙන බවයි..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: