hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 17, පෙ.ව. 12:02



ශාන් පුතා කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය රැප් ගායකයෙක්. මෙරට තිබූ ඒකාකාරී රැප් ශෛලියෙන් මිදී වෙනස්ම හැඩයකට රැප් ගීත කලාව සනිටුහන් කළ ශාන් පුතා මේ වෙද්දී ලංකාවේ ඉන්න අංක එකේ ජනප්‍රිය කලාකරුවකු වී අවසන්.

දකුණින් රැප් කලාවට දායාද වූ ශාන් පුතා සමඟ පුවත්පතක් කළ සොඳුරු කතාබහයි මේ.

ශාන් පුතා, මුලින්ම ඔයා ගැන කිව්වොත්. හැමෝම අතර ජනප්‍රිය ශාන් පුතා කියන්නෙ ඇත්තටම කවුද?

මගේ නම කෞශාන් ගුණරත්න. උප්පැන්නේ තියෙන්නේ එහෙමයි. මම දකින විදියට ශාන් පුතා කියන්නේ මගේ පිල්ලිය. හරියට මගේ අවතාරය වගේ. සීයට සීයක් මමම නෙවෙයි. ශාන් පුතා කියන්නේ වෙනම වර්ෂන් එකක්. මාර ලවින් කැරැක්ටර් එකක්. එයාට ඉක්මනට තරහා යනවා. ඉක්මනින් ආදරේ හිතෙනවා. මිනිස්සු එක්ක මාර කිට්ටුයි. ඇතිදේ ඇති සැටියෙන් දකින මාර සිම්පල් චරිතයක්. ඒ වගේම ඕනෙම සිටුවේෂන් එකක. ඕනෙම මූඩ් එකක ඕනෙම වයිබ් එකක ඉන්න පුළුවන් කෙනෙක්. ක්‍රියේටිව් කෙනෙක්. හැබැයි කෞශාන් ගුණරත්න කියන කෙනා ගත්තොත් එයා වෙන කෙනෙක්. ඒ මගේ පෞද්ගලික ජීවිතේ. කෞශාන් ගුණරත්න සහ ශාන් පුතා වෙනස් වෙන්නේ ක්‍රියේටිව් එක පැත්තෙන් සහ තින්කින් පැත්තෙන්. හැබැයි ඒ දෙන්නවම දරාගෙන ඉන්නේ මමම තමයි.

මේ දවස්වල මොකද වෙන්නෙ?

මේ දවස්වල මම මාවම පරික්ෂා කරමින් ඉන්නවා. මේ දවස්වල මොකද වෙන්නේ මම ඒකට මුහුණ දෙමින් ඉන්නවා. 2024 කියන්නේ මම හිතුවට වඩා හොඳ අවුරුද්දක් සහ හිතුවට වඩා නරක අවුරුද්දක්. මේ අවුරුද්දෙම ගොඩක් වෙලාවට ලංකාවෙන් පිට ඉන්නේ.

දැන් කොහෙද ඉන්නේ?

දැන් මේ කතා කරන මොහොතේ මම ඉන්නේ ඊශ්‍රායලයේ. ඊට පස්සේ ආයෙම මම ඩුබායි යනවා. ඩුබායිවලින් පස්සේ ජපානයේ, ඔස්ට්‍ර්ලියාවේ, සයිප්‍රස්, ඉතාලි සහ රුමෙනියාවට යනවා ප්‍රසංගවලට.

කොහොමද ලැබෙන ප්‍රතිචාර?

ප්‍රතිචාර ගැන කියන්නේ, මාරම හොඳයි. ඒ ගැන මට සතුටුයි. කෙනෙක් මට මුකුත් නොකිව්වත් මම එයාගෙන් අහනවා ඔයාට කොහොමද මාව දැනුණේ කියලා. මගේ වැරැද්දක්, අඩුපාඩුවක් තියෙනවා නම් මම ඒ දේවල් හදාගන්නවා. මම ප්‍රතිචාර බලාගෙනම වැඩ කරන්නේ නැහැ. ලැබෙන ප්‍රතිචාරය සතුටින් භාර ගන්න කෙනෙක්.

ශාන් රැප් පැත්තට යොමු වුණේ කොහොමද?

රැප් පැත්තට යොමු වුණේ මීට කාලයකට කලින්. මම රැප් ලියන කෙනෙක් විදියට වැඩ කරන්න අරන් නම් අවුරුදු 5ක් වගේ වෙන්නේ. මිනිස්සු සතුටු කරන එක තමයි මම ආසම දේ. ඒ දේ දැන් මගේ ජොබ් එක වෙලා තියෙනවා. ආසම දේ තමන්ගේ රැකියාව වීම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ නිසා මම සතුටින් තමයි මේ හැමදේම කරන්නේ.

ඔයා ෆලෝ කරන රැප් ගායකයින් කවුද?

මම ගොඩක්ම ආස ලංකාවේ ඉන්න රැප් ආටිස්ලට. මම කවුරුවත් ෆලෝ කරන්නේ නැහැ. මම ඒ අයව ස්ටඩි කරනවා විතරයි. ලංකාවෙන් පිට මගේ ෆ්ලෙවර්ස් නම් කොත්තුවක් වගේ. හැම ස්ටයිල් එකක්ම මම අහනවා. ඒ කියන දේවල් තේරුණත් නැතත් මම අහන්නේ ඒ වයිබ් එක. Snoop / petey pablo / Kodak black / busta ryhme / Lil wayn / Twisted insane / MGK / Travis / j cole / kendrik / migos / Mexican OT / central cee / Young thug මේ හැම ආටිස් කෙනෙක්ගෙම රැප් අහනවා.

අද වෙද්දී හැමෝම දන්නා චරිතයක් වීම, කොහොමද දැනෙන්නෙ?

ඒක ඇත්තටම මම ඉස්සර ඉඳන් ආස වුණු දෙයක්. හැබැයි මට ඕනේ වුණේ ප්‍රසිද්ධ කෙනෙක් වෙන්න නෙවෙයි. මට ඕනේ වුණේ පුළුවන් තරම් හැමෝගෙම හිත දිනාගෙන ජීවත් වෙන්න. ඒක මාර අත්දැකීමක්. මම හිතුවට වඩා හොඳින් ඒ දේ ලැබෙනවා. එහෙමයි කියලා මම කවදාවත් ඔළුව උදුම්මවා ගන්නේ නැහැ. හරි සතුටුයි. මට හම්බෙන හැම කෙනා එක්කම මම කතා කරනවා. ඒක මාව දන්නා අය දන්නවා. ඒක මාරම ලස්සන දෙයක්.

රැප්ර් කෙනෙක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?

එහෙම වුණා නම් මට වෙන්න තිබ්බේ දේවල් තුනයි. එක්කෝ මම බිස්නස්මන් කෙනෙක් වෙන්න ඉඩ තිබ්බා. මට සෑහෙන ආසාවක් තිබ්බා ව්‍යාපාරයක් පටන් ගන්න. මම මාකටින්වලට සෑහෙන ආස කෙනෙක්. නැත්නම් මම ලංකාවෙන් පිට යුරෝප් රටක සේවය කරන්න ඉඩ තියෙනවා. ඒ දෙකම නැත්නම් මේ වෙද්දී මොකක්ම හරි දෙයකට සිරගත වෙලා ඉන්නත් ඉඩ තියෙනවා.

ක්ෂේත්‍රයේ හොඳම යාළුවා කවුද?

මට හම්බෙන හැම යාළුවෙක්ම අවසානයේ මගේ හොඳ යාළුවෙක් වෙනවා. ඒ මා තුළ තියෙන මොකක් හරි දෙයක් නිසා වෙන්න ඇති. මාත් එක්ක මේ වෙනකම් ක්ෂේත්‍රයේ ඉන්න සහෝදරයෝ ඉන්නවා. මුලින්ම ඩොක්ටර් බී එස් කින්, සහන්‍ය සුරංග. ඊට පස්සේ කාලයක් යද්දී කින් ලෝටස්. මදුවා, ෂේන් සිං. මේ වෙද්දී අපි එකට ඉන්නේ. ගොඩක් වැඩ කරගෙන යනවා. ඒ එක්කම ක්ෂේත්‍රයේ ඉන්න හැම කෙනෙක් එක්කම හොඳයි.

ආදරේ දකින්නෙ කොහොමද?

මම ආදරේ දකින්නේ ගොඩක් ෆ්ලෙවර්ස් තියෙන කෑමක් විදියට. අපි ඒ වයිබ් එකේ ඉඳලා කෑවොත් ඒ ෆ්ලෙවර්ස් එක රස විදින්න පුළුවන්. මම මේ වෙද්දී විවාහකයි. මම මතක් කරන්න ඕනේ මේ හැම දෙකටම මට සහයෝගය දෙන්නේ මගේ ආදරණීය බිරිඳ. එයා මට ආදරේ ගැන ගොඩක් දේවල් කියලා දීලා තියෙනවා. මම නොදන්නා දේවල් පවා. ආදරේ මම නම් දකින්නේ, මගේ රැප් එකක කිව්වා වගේ. ආදරේ කරන්න මිනිසුන්ට, මොකද කිව්වොත් එයාලා හරි ඉක්මණට මැරෙනවා. අපි හැමෝම හියුමන්ස්ලා. අපි හෝමෝ සේපියන්ස්ලාගෙන් පරිණාමය වෙලා එන්නේ. එන්න එන්න මේ ආයුෂ අඩුවෙනවා. ඉන්න කාලේ හැමෝටම ආදරේ කරන්න. එයාට මෙයාට කියලා බෙදන්න එපා. අම්මට තාත්තට, සහෝදරයින්ට, නෑදෑයින්ට, යාළුවන්ට සතා සිවුපාවුන්ට වගේම ගහ කොළටත් ආදරේ කරන්න. හැබැයි කියන්න තියෙන එකම දේ ඔයා ආදරේ කරද්දී, ආදරේ කරන තරමටම රිටන් ආදරේ බලාපොරොත්තු නොවී ආදරේ කරන්න. එතකොට ආදරේ දුකක් වෙන්නේ නැහැ.

අනාගත බලාපොරොත්තු මොනවද?

මට බලාපොරොත්තු නැහැ. මට තියෙන්නේ සපුරා ගත යුතු ඉලක්ක ටිකක්. ඒ ඉලක්කවලට මම යන්නේ. එකම බලාපොරොත්තුව මේ ගතවන මොහොත මම කොහොමද හොඳම විදියට පාවිච්චි කරන්නේ කියන එක පමණයි. පුළුවන් තරම් කාලයක් කලාව එක්ක ඉන්නවා. ඒ එක්කම රසඳුනට ගොඩක් ස්තුතියි අපි වගේ අමුතු අමුතු දේවල් කරන අය එක්ක මේ සංවාදය කරලා සමාජ ගත කරනවට.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: