hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූලි 24, ප.ව. 2:46



තම බිරිය මියගිය දින සිට මේ දක්වා වසර 20ක කාලයක සිට දිනකට හාල් කිලෝ 3ක බත් උයා මාළු පිනිද සමඟ දවසේ වේල් තුනම එම සතුන් සොයා ගොස් ඔවුනගේ කුසගින්න නිවන අයෙක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.

ඔහු නමින් ගරුසිංහ දේවගේ සෝමවීර ජයනන්ද.

ඔහු මේ කරන අපූරු පින්කම ගැන මාධ්‍යයට මෙසේ අදහස් පළ කළා,

“මම වසර 21ක කාලයක් ඉතාලියේ සේවය කර යමක් හරිහම්බ කරගෙන දිවයිනට ආපු කෙනෙක්. මම දිවයිනට පැමිණ දැනට වසර 11ක් පමණ වෙනවා. ඉතාලියේ කටානා නුවර මම සේවය කරන වකවානුවෙත් අසරණ සතුන්ගේ කුසගින්න නිවීම මගේ විනෝදාංශයක් වුණා. මගේ සියලු බලාපොරොත්තු සුන්වුණේ මගේ ආදරණීය බිරිය රෝගාතුරව අකල් මරණයට ගොදුරුවීමෙන් පසුවයි. මම ඇය මියගියදා සිටම අසරණ සතුන්ගේ කුසගින්න නිවීමේ මේ පුණ්‍ය කටයුත්තට අත ගැසුවා. දැනට මේකට වසර 20ක්.අපට කටින් කතා කරන්න පුළුවන්.බඩගින්න කියා කාගෙන් හෝ යමක් ඉල්ලාගෙන හරි කන්න පුළුවන්.ඒත් මේ අසරණයන්ට එහෙම බැහැ. උන්ට ආදරය කරන්න ඕනෑ මිනිසුන් වන අපියි.මම දිනකට සහල් කිලෝ තුනක බත් උයා මාළුපිනිද සමඟ සතුන් ඉන්න තැන්වලට ගොස් කුසගින්න නිවනවා.බේත් හේත් දී ඔවුන්ට සත්කාර කරනවා. මා එනතෙක් ඔවුන් මඟ බලා ඉන්න හැටි දැක්කම මට හරි දුකක් දැනෙනවා. යතුරුපැදියෙන් ගොස් මේ වැඩේ කළත් අද ඉන්ධන නැහැ. ඒත් උන්ව කුසගින්නේ තබන්න බැරි නිසා දැන් පාපැදියෙන් දිනකට සැතපුම් ගණනක් යනවා. සුනඛයන් බළලුන් 50 ක් විතර මගේ මිතුරන් වී සිටිනවා. මගේ බිරිය මියගියදා මේ පින්කම පටන් ගත්ත වගේම මම මිය යනතෙක් මේක කරන්නයි අදහස.අදවනවිට දිනකට රුපියල් 20000ක් විතර මුදලක් වැයවුණත් මගේ ආදරණීය බිරිය වෙනුවෙන් මම මේක නොකඩවාම කරන්නයි අදහස.”