hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 30, පෙ.ව. 12:04



අසූව දශකයේ ශ්‍රී ලංකාව හැරගිය දමිළ යුවළකගේ දියණිය වන උමා කුමරන් මෙවර ලන් ඩනයේ පිහිටි ස්ට්‍රැට්ෆර්ඩ් සහ බවු ආසනයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයට තරග වදිනවා.

ඇය නියෝජනය කරන්නේ ලේබර් පක්ෂයයි. එම ප්‍රදේශයේ ලේබර් පක්ෂය ශක්තිමත්. ඒ වගේම​, මෙවර ලේබර් පක්ෂය විශාල ජයග්‍රහණයක් ලබනු ඇතැයි අනුමාන කරනවා. එහෙයින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත්වීමට බොහෝ ඉඩ තිබෙනවා.

උමා කුමරන් ක්වීන් මේරි විශ්ව විද්‍යාලයෙන් ආධ්‍යාපනය ලබා ඇති අතර බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය වෙනුවෙන් සේවය කර තිබෙනවා. ලන්ඩනයේ නගරාධිපති සදික් ඛාන් වෙනුවෙන් දේශපාලන කටයුතුවල නිරතව ඇති ඇය දේශගුණික විපර්යාස පිළිබඳ ආයතනයක මහජන සම්බන්ධතා නිලධාරිණිය ලෙස ද කටයුතු කර තිබෙනවා.

උමා පවසන්නේ කම්කරු අයිතීන් පිළිබඳ අදහස තම පවුලෙන්ම පැමිණෙන්නක් බවයි. ඇගේ සීයා යාපනයේ පළමු වෘත්තීය සමිති ක්‍රියාකාරීන් අතුරින් කෙනෙක්. ඇයගේ පවුලේ අය ලන්ඩනය​, ඔස්ට්‍රේලියාව සහ ඇමරිකාව යන ප්‍රදේශයන් හි විසිර ඇති බව ඇය පවසනවා. යුද්ධය හේතුවෙන් ඇගේ පවුල මෙසේ විසිර පැවතීම කණගාටුදායක බවයි ඇය පවසන්නේ.

තමා ඉතිහාසය විසින් නිර්මාණය කරන ලද අයෙක් බව පවසන උමා, ශ්‍රී ලංකාවේ සිදුවූ සිද්ධීන් හේතුවෙන් තම දෙමාපියන් බ්‍රිතාන්‍යයට පැමිණීම සිදුවූ බව සිහිපත් කරනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුධ අපරාධ සම්බන්ධව කිසිවකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ඇය මැසිවිලි නගනවා.

ශ්‍රී ලංකාවේ යුද්ධයෙහි අවසන් අදියරේදී සිදුවූ බව කියන මනුශ්‍ය ඝාතන වැළැක්වීමට එවකට ලේබර් ආණ්ඩුවේ විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් උත්සාහ කළ බව උමා පවසනවා.

එමෙන්ම ශ්‍රී ලංකාව පිළිබඳ කරුණු දැක්වීමට තමා ඇතුළු පිරිසක් අගමැති ගෝර්ඩන් බ්‍රවුන් හමුවූ බව ද ඇය මතක් කරනවා.

ඇය සඳහන් කළේ වර්තමාන​ ලේබර් නායක කියර් ස්ටාමර් ද ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත කරුණු දැක්වීම කළයුතු බව ප්‍රකාශ කර ඇති බවයි. තමා පාර්ලිමේන්තුවට පත්වුවහොත් ඒ සඳහා කැපවන බව ද ඇය පවසනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: