hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 13, පෙ.ව. 12:02



අතුරුගිරිය මංසන්ධියේ ටැටූ ව්‍යාපාරික ස්ථානයක් තුළදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා යොදාගත් ගිනි අවි දෙක සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබෙනවා.

වීමර්ශන සිදු කරන පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඝාතනය සඳහා යොදාගත් ගිනි අවි දෙකෙන් එකක් එල්.ටී.ටී.ඊ සංවිධානය භාවිතා කළ වර්ගයේ ගිනි අවියක් බවට සැක කරන බවයි.

එක් සැකකරුවෙකු ගිනි අවිය හසුරුවන ආකාරය සහ සීසීටීවී දර්ශන ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරන බවයි එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සියලු‍ම සැකකරුවන් අතරේ මෙම ඝාතනය සැලසුම් කිරීමට අදාළව රුපියල් ලක්ෂ 15 කට අධික මුදලක් සංසරණය වි ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතන සැලසුමට භාවිත කළ සියලු‍ම වාහන කලක පටන් වාහන බලහත්කාරයෙන් අත්පත් කරගන්නා සීසර්වරුන් හරහා විටින් විට හුවමාරු වී ඇති බවද හෙලිව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එම කටයුතු මෙහෙයවා ඇත්තේ මත්ද්‍රව්‍ය අලෙවියේ නිරත පාතාල කල්ලි සාමාජිකයෙකු වන කන්ඡිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු වන ගොනාකෝවිලේ ශාන්ත නමැති දැනට ඩුබායි රාජ්‍යයට පලාගොස් සිටින පුද්ගලයෙකු විසින් බවද වාර්තා වනවා.

වෙඩික්කරුවන් ටැටූ ව්‍යාපාරික ස්ථානය සඳහා පැමිණි සුදු පැහැති මෝටර් රථය දැනට අත්අඩංගුවට ගෙන සිටින මහේෂ් නමැති සැකකරු සහ තවත් පුද්ගලයෙකු විසින් සිද්ධිය සිදුවූ දින අළුයම 3ට පමණ අතුරුගිරිය – ගල්පොත්ත පාර ප්‍රදේශයට රැගෙනවිත් තවත් පුද්ගලයෙකුට ලබාදී තිබෙනවා.

වෙඩි තැබීම සිදුකර මෝටර් රථයෙන් පලාගිය සැකකරුවන් කඩුවෙල කොරතොට ප්‍රදේශයේදී වෑන් රථයකට මාරුවන ආකාරය සී.සී.ටීවී දර්ශනවල පටිගත වී තිබුණා.

එම වෑන් රථය මීට මාස එකහමාරකට පෙර පනාගොඩ යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි ස්ථානයක තිබී ඇති අතර එය එම ස්ථානයෙන් බෙලිඅත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ නිවසකට රැගෙන ගොස් දෙන ලෙස වාහන සීසර්වරයෙකුට ගොනාකෝවිලේ ශාන්ත රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් ලබාදී ඇති බවද විර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සිදුකර පාලයාම සඳහා භාවිත කළ එම වෑන් රථය පසුගිය 6 වැනිදා උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙත භාර දී ඇති බවද පොලිස් විමර්ශනවල සඳහන්.

එමෙන්ම, ක්ලබ් වසන්තට එරෙහිව මූල්‍ය ගනුදෙනු සම්බන්ධයෙන් ද මීට පෙර සිටම පොලිස් ස්ථාන වෙත පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවයි විමර්හන සිදු කරන උසස් පොලිස් නිලධාරීයෙකු සදහන් කළේ.

මේ අතර සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් 07 දෙනා මේ මස 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර ඊයේ නියෝග කළේ.

එහිදී සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පළමු සැකකරු වන ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තා රහස් ප්‍රකාශයක් ලබා දීමට කැමැත්තෙන් සිටින බවටද අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම සැකකරුවන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අතුරුගිරිය පොලිසියේදී ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරු දුලාන් සන්ජුල පොලිසිය ඉදිරියේ මෙලෙස පාපෝච්චාරණයක් ද සිදුකළා.

අතුරුගිරිය මංසන්ධියේ පිහිටි ටැටූ ව්‍යාපාරික ස්ථානයක් විවෘත කිරීමට පැමිණි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත සහ තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරුණේ පසුගිය 08 වැනිදා උදෑසනයි.

මේ අතර මෙම වෙඩි තැබීමෙන් ඝාතනයට ලක් වූ සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්තගේ දේහය මේවනවිට බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවක් තැම්පත් කර තිබෙනවා.

එමෙන්ම වෙඩි තැබීමෙන් මියගිය ජනප්‍රිය ගායන ශිල්පී කේ.සුජීවාගේ සැමියා වූ නයන වාසුල විජේසූරියගේ දේහය අධිකරණ නියෝග මත කේ. සුජීවාගේ දියණියන් දෙදෙනාට භාර දීමෙන් අනතුරුව තලාහේන පොදු සුසාන භූමියේදී ඊයේ මිහිදන් කෙරුණා.

ක්ලබ් වසන්තගේ බිරිඳ ද කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන අතර ඇයගේ තත්ත්වය තවමත් බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලැබූ ටැටූ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුගේ බිරිඳ මේ වනවිට හෝමාගම මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

එමෙන්ම වෙඩි වැදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ජනප්‍රිය ගායන ශිල්පිණී කේ. සුජීවා සැත්කම් කිහිපයකින් පසු මේ වන විට සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබන අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: