hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජනවාරි 10, පෙ.ව. 9:43


ගුවන්තොටුපළට පැමිණි මගියෙකු හදිසියේ මිය යයි

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩා ජාතික පුරවැසිභාවය හිමි ගුවන් මගියෙකු  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී ඇද වැටීමෙන් අද (10) අලුයම මිය ගොස් ඇති බව ගුවන් තොටුපළ පොලීසිය ප්‍රකාශ කළා.

බුද්ධික කරුණාරත්න නැමැති 54 හැවිරිදි මෙම  ගුවන් මගියා ශ්‍රී ලංකාවේ බැද්දගාන ප්‍රදේශයේ පදිංචි වී සිටි අයෙක්.

මොහු සිය මෑණියන් සමග අද (10) අලුයම 02.18 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔහු සිය මෑණියන් කැනඩාවේ සිට ශ්‍රී ලංකාවට රැගෙන එමින් සිටියදී අද (10) අලුයම 03.50 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ ලොබි ශාලාව ඔස්සේ පපිටවීමට ගමන් කරමින් සිටියදී , ඔහුට හදිසියේම වැළදුණු හෘදයාබාධයක් නිසා මෙසේ ඇද වැටී මිය ගොස් ඇති බව කටුනායක ගුවන් තොටුපළ පොලීසිය සදහන් කළා.

මේ වනවිට මෙම ගුවන් මගියාගේ මළසිරුර මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

මේ පිළිබඳ විමර්ශන කටයුතු මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් පරීක්ෂක ප්‍රනාන්දු සහ පොලිස් කොස්තාපල් 94507 කුමාර යන මහත්වරුන් විසින් සිදු කරනවා.

මෙම මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය අද (10) මීගමුව මහ රෝහල තුළ පැවැත්වීමට ද නියමිතයි.

(කටුනායක – ටී.කේ.ජී.කපිල)