2023 ජනවාරි 04, ප.ව. 4:08
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඒ මහතාගේ පුත්‍රයා ඇතුළු පවුලේ උදවියට පහර දී නිල නිවසට අලාභ හානි සිදු කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ විශ්වවිද්‍යාල සිසුන් 13 දෙනා මෙම මස 18 දින තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා අද (04) නියෝග කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ සිසු පිරිස අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති අනුරාධ විදානගේ මහතා ද සිටිනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමයේ වත්මන් සභාපති චමෝත් සත්සර සිසුවාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් සිසුන් 14 දෙනෙකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හා හිටපු සභාපති යන දෙදෙනා ගේ ශිෂ්‍යභාවය පසුගිය 27 දින තාවකාලිකව අත්හිටවනු ලැබුවා.
ඊට දින දෙකකට පසු හිටපු සභාපතිවරයා මහනුවර අධිකරණ සංකීර්ණය ආසන්නයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේනතුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
හිටපු උපකුලපතිවරයාට සහ ඒ මහතාගේ පවුලේ උදවියටත් නිල නිවසටත් පහර දීම සම්බන්ධයෙන් සී.සී.ටී.වී දර්ශන ඔස්සේ හඳුනා ගත් සිසුන් 12 දෙනෙකුගේ ශිෂ්‍යභාවය පසුගිය 13 දින විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් අත්හිටුවීමෙන් පසු එම සිසුන් පේරාදෙණිය පොලීසියට බාර වුණා.
රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි එම සිසුන් පසුගිය 22 වැනි දින හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර එහි දී හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් සිසුන් 06 දෙනෙකු හඳුනා ගත්තා.
යළිත් සිසුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර (04) නඩුව කැඳවන ලද අවස්ථාවේ සිසුන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරු හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී හඳුනා නොගත් සිසුන්ට හෝ ඇප ලබාදෙන ලෙස ඉල්ලීමක් කරනු ලැබුවා.
පොදු දේපොළ පනත යටතේ සැකකරුවන්ට එරෙහිව කරුණු වාර්තා කර තිබීමත් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ අවසන්ව නොමැති නිසාත් සිසුන්ට ඇප ලබාදීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළා.