hit counter

2024 අප්‍රේල් මස 30 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 10:47



මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති සම්පාදනය කිරීමත් තිබෙන නීති ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමත් අරමුණු කර ගනිමින් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා කටයුතු කර ඇත.

මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම කමිටුව පත් කර ඇති අතර ඊට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බුවනෙක අළුවිහාරේ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන හා ජනාධිපති කාර්යාලයේ ශිරන්ත හේරත් යන පිරිස අයත් වෙයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික වෙමින් මෙලෙස කළු සල්ලි හුවමාරුවීම හා ත්‍රස්තවාදීන්ට මුදල් යැවීම වැළැක්වීම උදෙසා කටයුතු සම්පාදනය කළ අතර ඒ වෙනුවෙන් මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බළකායක් (financial action task force) පිහිටුවන ලදී.

එහි ශාඛාවක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ද ක්‍රියාත්මක වන අතර එය මූල්‍ය බුද්ධි ඒකකය ලෙස හඳුන්වනු ලබයි.

වසර හතරකට වරක් මෙම කටයුතුවල ප්‍රගතිය ඉහත කාර්ය සාධක බළකාය මගින් එම රටවලට ගොස් සොයා බලන අතර ශ්‍රී ලංකාවට ද 2019 සිට මෙයට අදාළව මූල්‍ය ක්ෂෙත්‍රයේ වෙනස්කම් රාශියක් කිරීමට සිදුව තිබෙනවා.

මේ වන විට රටේ ක්‍රියාත්මක වන පිරමීඩ ජාවාරම් මෙන්ම ක්‍රිප්ටෝ කරන්සි වැනි කටයුතු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදයන් හා තද නීති නොමැතිවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් ද නිර්මාණය වී තිබිණි.

ජාත්‍යන්තර කාර්ය සාධක බළකාය ඉදිරි වසර දෙක ඇතුළත මෙරටට පැමිණ මේ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන බැවින් ඉහත කමිටුව පිහිටුවීමට ජනාධිපතිවරයා තීන්දු කර තිබෙනවා.

එම ජාත්‍යන්තර නියෝජිත කණ්ඩායම මෙම සතියේ මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව මෙරට නීති ක්‍රියාත්මක වීම ගැන අදාළ සංවිධානය ගැටලුවක් මතු කළ හොත් එය මෙරට බැංකු පද්ධතියට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසුවා.

එම අවදානම වැළැක්වීම උදෙසා ඉහත කමිටුව පත් කර ඇති අතර ඔවුන් ආයතන හතක් සම්බන්ධ කර ගනිමින් ලංකාවේ මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදී මූල්‍යකරණයට අදාළව නව නීති ගෙන ඒමටත්, පවතින නීති ශක්තිමත් කිරීමටත් කටයුතු කිරීමට නියමිතයි.

විදේශ අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය, පොලිසිය, නිතීපති දෙපාර්තමේන්තුව හා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම යන ආයතන 7 සහ ඊට අදාළව ක්‍රියාත්මක වන ආයතන සම්බන්ධීකරණය කරමින් මෙම කමිටුව විසින් නීති ශක්තිමත් කරනු ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: