hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 03, පෙ.ව. 9:09



රථ වාහන ආදායම් බලපත්‍රය මේ වන විට අන්තර්ජාලය හරහා ද කඩිනමින් ලබා ගැනීමේ පහසුකම ජනතාවට ලැබී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඒකාබද්ධව හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහයෝගයෙන් ඉ-වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ වැඩසටහන (eRL) යටතේ මෙය ක්‍රියාත්මකයි.

නව වාහන ආදායම් බලපත්‍රයක් ලබා ගැනීම මෙන් ම තිබෙන ආදායම් බලපත්‍රය අලුත් කර ගැනීමේ පහසුකම (eRL) වැඩසටහන යටතේ ලබා දී තිබෙනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ බලපත්‍ර ලබා ගැනීම සඳහා වන මූල්‍ය ගෙවීම් ක්‍රෙඩිට් කාඩ් මඟින් කළ හැකි අතර ඊට අදාළ තාවකාලික ආදායම් බලපත්‍රය ඉ-මේල් ලිපිනය ඔස්සේ ඔබට ලැබෙනු ඇති. ස්ථීර ආදායම් බලපත්‍රය දින කීපයකින් ලියාපදිංචි තැපෑලෙන් ඔබගේ නිවසට ලැබෙන බවයි එම ආයතනය සඳහන් කළේ.

දිවයිනේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල මඟින් ද මෙම පහසුකම ජනතාවට ලබා ගැනීමට හැකි අතර ලංකා රාජ්‍ය ජාලය (Lanka Goverment Network) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Goverment Cloud ) යන යටිතල පහසුකම් පද්ධති මඟින් එය බල ගන්වා තිබෙනවා.

මෙම වාහන බලපත්‍ර නිකුත් කිරීම තවදුරටත් කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ තවත් පහසුකම් එක් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සඳහන් කරනවා.

ඒ අනුව දැනටමත් තම වාහනය ලියාපදිංචි කර තිබෙන්නේ කුමන පළාතක වුවත්, ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් එය ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

තව ද වාහන ආදායම් බලපත්‍රය නිකුත් කිරීමට අවශ්‍ය ලිපි ලේඛන ස්කෑන් කිරීමට පියවර ගැනීම නිසා එම කටයුතු කඩිනමින් නිම කිරීමේ හැකියාව ලැබී ඇති. මේ නිසා කඩදාසි භාවිතය අවම වීමට, වියදම් අවම වීමට සහ හරිත පරිසරය සුරැකීමට ඉවහල් වී ඇති.

දිවයිනේ සමස්ත පළාත් නමය මඟින් නිකුත් කර තිබෙන වාර්ෂික සාමාන්‍ය වාහන ආදායම් බලපත් ගණන මිලියන 5.5ක් ඉක්මවා ඇති අතර එයින් උපයා ඇති ආදායම බිලියන 10ක් ඉක්මවා තිබෙනවා.