hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 23, ප.ව. 8:03



ශ්‍රී ලංකාව සඳහා දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකයක් (District Digital Readiness Index) හඳුන්වා දීමට පියවර ගැනේ.

මෙමඟින් ශ්‍රී ලංකාවේ කලාපීය වශයෙන්  ඩිජිටල් සංවර්තනය  (Digital Transformation)  සඳහා  තිබෙන විෂමතාවයන් හඳුනා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ශ්‍රී ලංකා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සකස් කෙරෙන මෙම සූදානම් දර්ශකයේ මුලික අදියර මේ වන විටත් අවසාන කර තිබේ.  

 ශ්‍රී  ලංකා ජන හා සංඛාලේඛන දෙපාර්තමේන්තුව අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙන අතර රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සහයෝගය ද මේ සඳහා ලබා දී ඇත.  

රාජ්‍ය ආයතන විශාල ප්‍රමාණයක සහ මෙරට තොරතුරු තාක්ෂණයට අදාළ ප්‍රධාන සංගම් රැසක සහාය ද මෙයට ලැබී තිබෙන අතර බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS ),  ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සඳහා වන සංගමය (SLASSCOM) ලංකා පරිගණක සංගමය (CCSL),  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය ( FITIS),  තොරතුරු සන්නිවේදන  තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව  (ICTISC ) සහ අනෙකුත් ජාතික සහ ප්‍රාදේශීය පාර්ශවකරුවන් රැසක් ද මේ අතර වෙති.

ශ්‍රී ලංකාව 2030 නව ඩිජිටල් ආර්ථික ප්‍රවේශයක් කරා යන ගමන් මඟ වඩාත් ඵලදායී හා කඩිනම් කිරීමට මෙය  රුකුලක් වනු ඇතැයි ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ  නියෝජිතායතනය සඳහන් කරයි.  

ඒ අනුව  ශ්‍රී  ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මඟින් දැනටමත් හඳුන්වා දී තිබෙන දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු (DDTC) මඟින් එම විෂමතාවයන් අවම කර ගනිමින් සෑම දිස්ත්‍රික්කයකට ම  සාධාරණ හා ඵලදායී ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීමට අවශ්‍ය උපායමාර්ග  හඳුන්වා දීම මෙන්ම ඒවා ක්‍රියාත්මක  කිරීමත් සිදු කෙරේ.

දිස්ත්‍රික් ඩිජිටල් සුදානම් දර්ශකය (District Digital Readiness Index) මඟින් ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක විසි පහට ම ඩිජිටල් ආර්ථිකයට හා ඩිජිටල් සංවර්තනයට අදාළ නිර්ණායකයන්  පදනම් කර ගෙන සැසඳීමක් සිදු කරන අතර එමඟින් දිස්ත්‍රික්ක අතර ඇති විෂමතාවයන් සියල්ල ග්‍රහණය කරනු ඇත.

දිවයින පුරා  දිස්ත්‍රික්ක 21ක මේ වන විට දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු  පිහිටුවා අවසන් කර තිබෙන අතර දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික් සංවර්තනයට අදාළ සැලසුම් ක්‍රියාත්මක කිරීම සිඳුවනු ඇත.

 දිස්ත්‍රික් ඩිජිටල් සංවර්තන කමිටු දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ඩිජිටල් සංවර්තනයට අදාළ සියලු පාර්ශවකරුවන්ගේ සහභාගිත්වයෙන් දිස්ත්‍රික්ක මට්ටමෙන් ක්‍රියාත්මක වේ.