hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 ජූනි 11, ප.ව. 1:04



කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සදහා පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කරගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සදහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරුණා.

ඒ අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය සහ කොරියානු ක්ලූලයිෆ් ආයතන අතර  අදාළ ගිවිසුම කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් අත්සන් කළා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙනුවෙන් එහි සභාපති හිල්මි අසීස්, ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි පාලක සභාවේ ලේකම් ප්‍රසාද් ජයවීර, කොරියානු ක්ලූලයිෆ් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන් යුං ලිම් යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූවා.

මෙම අවභෝධතා ගිවිසුම අනුව කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සදහා වන ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිතයි.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් වෙල්ඩින් රැකියා සදහා මූලික අදියරේදී ශ්‍රමිකයින් පුහුණු කිරීමට නියමිත අතර දෙවැනි අදියරේදි නැව් පින්තාරු පුහුණුව, ඉලෙට්‍රිකල් පුහුණුව ලබාදීමට නියමිතයි.

නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන්ට කොරියානු භාෂා පුහුණුව ලබාදීමටද නියමිතව ඇත.

ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධිත ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය පුහුණුව සදහා අවශ්‍ය පහසුකම් සපයන අතර කොරියානු ක්ලූලයිෆ් ආයතනය විසින් පුහුණුකිරීම් කටයුතු සිදු කරනු ලබයි.

ඒ සදහා වන කොරියානු පුහුණුකරුවන්ද එම ආයනය විසින් සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

මෙම පුහුණුව ලබන සියලුම පුහුණුකරුවන් කොරියානු නැව් ඉදිකිරීම් ක්ෂේත්‍රෙය් රැකියා සදහා යොමු කිරීමට අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සහ රැකියා අවස්ථා ලාංකික ශ්‍රමිකයින්ට ලබාදීම සදහා වන රැකියා කෝටාවන් ලංකාවට ලබාගැනීටම අවශ්‍ය සහාය ලබාදීමට නියමිතයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් අදාල පුහුණු කටයුතුවල ගුණාත්මකභාවය සහතික කිරීම සදහා වන අධීක්ෂණ කටයුතු සිදුකරනු ඇත.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට  ගංගාරාම විහාරවාසී ශ්‍රාස්ත්‍රපති හීන්කුඹුරේ කොන්ඩඤ්ඤ ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී ප්‍රියන්ත සේනානායක යන මහත්වරු එක්ව සිටියා.