hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 12, පෙ.ව. 9:01



රැකියා අපේක්ෂිතයන්ගේ සිහින සැබෑ කරන ‘Sri Lanka Skills Expo 2023’ ප්‍රදර්ශනය 2023 මැයි මස 12, 13 සහ 14 දිනවල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී ආරම්භ වනවා.

එහි සමාරම්භක උළෙල පෙරවරු 9.00ට අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

මෙම ප්‍රදර්ශනය අද පෙරවරු 9.00 සිට පස්වරු 8.00 දක්වා මහජනතාවට විවෘත වන අතර, ඇතුළු වීම සම්පූර්ණයෙන් ම නොමිලේ බවයි සංවිධායකයින් පවසන්නේ.

මෙය ජාතික මට්ටමේ සම්මන්ත්‍රණයක් සහ ප්‍රදර්ශනයක් වන අතර නිපුණතා සහ කුසලතා සම්බන්ධ ජාතික හා ජාත්‍යන්තර පාර්ශ්වකරුවන් එකම වේදිකාවකට රැගෙන ඒමට එය සමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ සංකල්පයකට අනුව ලංකාවේ ප්‍රථම වරට පවත්වන නිපුණතා ප්‍රදර්ශනයක් ලෙසයි මෙය සංවිධානය වන්නේ.

ඉදිකිරීම් කර්මාන්ත නිපුණතා සභාව (CISC), තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත නිපුණතා සභාව (ICTISC), නිෂ්පාදන සහ ඉංජිනේරු ආංශික නිපුණතා සභාව (MESSCO), සංචාරක කර්මාන්ත නිපුණතා සභාව (TISC) සහ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාව (ASSC) යන ආංශික නිපුණතා සභාවන්ට අදාළ කර්මාන්ත ක්ෂේත්‍රවල නැගී එන තාක්ෂණයන් “Sri Lanka Skills Expo 2023” තුළ මූලික වශයෙන් ඉදිරිපත් කෙරේ.

මෙම කර්මාන්ත සම්බන්ධයෙන් දැනට පවතින කාර්මික පුහුණු වැඩසටහන් පිළිබඳ ව ජනතාව දැනුම්වත් කිරීමටත්, රැකියා පුරප්පාඩු සම්බන්ධ දත්ත හුවමාරු කරගැනීමටත්, එම රැකියා සඳහා අයදුම් කිරීමට රැකියා අපේක්ෂිතයන් යොමු කරවීමටත් මෙම ප්‍රදර්ශනය කදිම තෝතැන්නක් වනු ඇති බවයි පැවසෙන්නේ.

පෞද්ගලික අංශයේ නිපුණතා සහ ශ්‍රම අවශ්‍යතාවන් පිළිබඳ දැනුම්වත් කිරීම මෙහි තවත් මූලික අරමුණක්.

ඉහත සඳහන් ක්ෂේත්‍ර පහට(05) අදාළ වර්තමාන ප්‍රවණතා සහ එම ක්ෂේත්‍රවල පවතින වෘත්තීය අවස්ථාවන් පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා විශේෂ වෘත්තීය මගපෙන්වීමේ වැඩසටහන් පෙළක් ද මෙම ප්‍රදර්ශනයට සමගාමී ව සංවිධානය කෙරේ.

සිසුන්ට සහ රැකියා අපේක්ෂිතයන්ට ක්ෂේත්‍රවල ප්‍රවීණයන් හා සේවායෝජකයන් හමු වීමට මෙන්ම අදාළ අංශවල පවතින විවිධ වෘත්තීයමය අවස්ථා පිළිබඳව දැනුම්වත් වීමට ද මෙය අගනා අවස්ථාවක් වනු ඇත.

මේ ඔස්සේ අදාළ ක්ෂ්‍ත්‍රවල ප්‍රතිරූපය තවදුරටත් වර්ධනය කරවීමටත්, තාක්ෂණය භාවිත කිරීම හා නිපුණතා සංවර්ධනය පිළිබඳ උපදේශන සේවා සැපයීමටත්, රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමටත් බලාපොරොත්තු වනවා.