2022 මැයි 31, ප.ව. 1:51
රටකජු ජාතික අවශ්‍යතා මට්ටම ඉක්මවා දෙගුණයක අස්වැන්නක් වාර්තා කර ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
ලංකාවේ වාර්ෂික රටකජු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 30,000ක්.
2021 අවසන් වනවිට රටකජු වගාවෙන් ලද අස්වැන්න මෙට්‍රික් ටොන් 64,000ක් ඉක්මවා ඇතැයි රටකජු වගාව පිළිබඳව බෝග නායක එස්.එන්.පී. වීරකෝන් මහතා ප්‍රකාශ කරයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇති නව රටකජු ප්‍රභේදයක් වන ලංකා ජම්බෝ නැමැති රට කජු ප්‍රභේදය නිසා ජම්බෝ පීනට්ස් නිෂ්පාදනයට පිටරටින් ආනයනය කරනු ලබන තොග අත්හිටුවීමට මේ නිසා හැකි වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රටකජු අමතර අස්වැන්න යොදාගැනීම මගින් ඒ ආශ්රිත නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා කටයුතු යොදන කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
විශේෂයෙන්ම සිරුරට හිතකර රටකජු තෙල් සහ රටකජු බටර් නිෂ්පාදන වැඩපිළිවෙළක් ආරම්භ කරන ලෙසත්, තවදුරටත් රටකජු වගාව ව්‍යාප්ත කිරීමට පියවර ගත යුතු බවත් ඇමැතිවරයා සඳහන් කරයි.
රසායනික පොහොර හෝ කෘමිනාශක භාවිතයෙන් තොරව වගා කළ හැකි බෝගයක් වන රට කජු මෙන්ම එවැනි තවත් බෝග වර්ග වගා කිරීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසත්, ගොවි ජනතාව ඒ සඳහා තවත් උනන්දු කළ යුතු බවත් කෘෂිකර්ම ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.