2024 නොවැම්බර් 18, ප.ව. 5:47
මහජන බැංකුවේ නව සභාපති ලෙස මහාචාර්ය පී.එන්.ඩී. ප්‍රනාන්දු මහතා නොවැම්බර් 18 වැනිදා මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේ දී නිල වශයෙන් වැඩ භාරගත්තේය. මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය මෙම අවස්ථාවට සහභාගි වූහ.
මූල්‍ය, බැංකු සහ උසස් අධ්‍යාපනය පිළිබඳ වසර 25කට වැඩි පළපුරුද්දකින් හෙබි මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ මූල්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු සහ අංශ ප්‍රධානියකු ලෙස කටයුතු කර ඇති ප්රමුඛ පෙළේ ශාස්ත්‍රඥයෙකි.
විශ්වවිද්‍යාලය තුළ වසර 27කට අධික කාලයක් පුරා ශාස්ත්‍රිය වශයෙන් ඔහු විසින් ඉටු කරන ලද මෙහෙවර පිළිගැනීමට හා ඇගයීමට ලක්ව ඇත.
මහාචාර්ය ප්‍රනාන්දු මහතා නව උපාධි වැඩසටහන් කිහිපයක් හඳුන්වා දෙමින් ශ්‍රී ලංකිය මූල්‍ය අධ්‍යාපනයේ ප්රමිතීන් ඉහළ නැංවීම සඳහා ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇති අතර, කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපතිවරයා වශයෙන් කටයුතු කර ඇත. එමෙන්ම මහාචාර්ය ප්‍රනාන්දු මහතා කැලනිය විශ්වවිද්‍යාලයේ ව්‍යපාර පරිපාලන (MBA) උපාධි වැඩසටහන සඳහා ලෝක බැංකුවේ AHEAD ප්‍රදානයන් ලබාගැනීම, ISO 21001 සහතිකය හිමිකර ගැනීම ඇතුළු වැඩසටහන් රැසකට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත.
කැලණිය විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර කළමනාකරණය (ගිණුම්කරණය) පිළිබඳ ප්‍රථම උපාධිය හිමිකරගත් ප්‍රනාන්දු මහතා මධ්‍යම චීන සාමාන්‍ය විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි කර ගෙන ඇත. එමෙන්ම කොළඹ ක්රමයේ ශිෂ්‍යත්ව වැඩපිළිවෙළ හරහා බටහිර බෙංගාල තාක්ෂණ විශ්වවිද්‍යාලයෙන් ව්‍යපාර පරිපාලන උපාධියක් ද හිමි කරගෙන ඇත.
මීට අමතරව කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව වැනි මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය ආයතන සඳහා උපදේශකවරයෙකු සහ සම්පත් දායකයෙකු ලෙස ද මහාචාර්ය ප්‍රනාන්දු මහතා කටයුතු කර ඇත.
ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය මූල්‍ය ආයතනයකට නායකත්වය ලබාදීමට අවස්ථාව ලැබීම පිළිබඳව අභිනව ධුරයේ වැඩ භාරගැනීමේ අවස්ථාවේදී, මහාචාර්ය ප්‍රනාන්දු මහතා සිය සතුට ප්‍රකාශ කළේය. එමෙන්ම ඩිජිටල් පරිවර්තන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම, ගනුදෙනුකාර කේන්ද්‍රීයභාවය වර්ධනය කිරීම සහ දිනෙන් දින පුළුල් වන රටේ අවශ්‍යතාවන්ට සහය වීම සඳහා ශක්තිමත්, තිරසර බැංකු ජාලයක් ගොඩනැගීම අරමුණු කරගත් මහජන බැංකුව සඳහා වූ ඔහුගේ දැක්ම එහි දී ඔහු අවධාරණය කළේය.