hit counter

2024 නොවැම්‍බර් මස 22 වන සිකුරාදා

2024 නොවැම්‍බර් 22, ප.ව. 1:04



මහජන බැංකුව, සිය YouTube සහ TikTok යන සමාජ මාධ්‍යයේ ගිණුම් වල ග්‍රාහකයින් සංඛ්‍යාව 100,000 ඉක්මවූ ප්‍රථම ශ්‍රී ලාංකේය බැංකුව බවට පත්වෙමින් ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය සම්බන්ධයෙන් සිය විශිෂ්ටත්වය යළිත් තහවුරු කරගනී. ඒ අනුව මහජන බැංකුවට පසුගියදා Youtube Silver Button හිමිවිය.

බැංකුවේ මූල්‍ය නිමැයුම් සහ සේවාවන් පිළිබඳ දැනුවත් කරන අතර, මහජනතාව සමඟ මනා සන්නිවේදනයක් ගොඩනඟා ගැනීම සහ ඔවුන්ව දැනුවත් කිරීම සඳහා සමාජ මාධ්‍ය නිවැරදිව භාවිතා කිරීමට බැංකුවේ ඇති කැපවීම මේ තුළින් මනාව අවධාරණය වේ.

සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි ඩිජිටල් අන්තර්ගතයන් මහජන බැංකුව ඉදිරිපත් කරන අතර, කාන්තාවන් සවිබල ගැන්වීම, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ සංස්කෘතික වටිනාකම් ආරක්ෂා කිරීම වැනි මාතෘකාවන් පිළිබඳ කතාබහක් ඇතිකිරීමට YouTube, facebook, instagram සහ Tiktok වැනි සමාජ මාධ්‍ය අවකාශයන් භාවිතා කරයි. එමෙන්ම ඇතැම් වීඩියෝ නැරඹුම් වාර මිලියන 2.5 ඉක්මවා ඇත.

මහජන බැංකුව සිය ඩිජිටල් ගනුදෙනුකරුවන් මිලියන 3 ඉක්මවමින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ නායකත්වය දැනටමත් තහවුරු කරගෙන තිබීම විශේෂත්වයකි. එමෙන්ම People’s Wave ජංගම දුරකතන යෙදවුම, People’s Wave අන්තර්ජාල බැංකුකරණ පහසුකම් සහ People’s Pay wallet යෙදවුම හඳූන්වා දී අතර ව්‍යාපාරිකයින් සඳහා People’s Wyn, Lanka QR තාක්ෂණය සඳහා සහය දක්වන මොඩියුලයක් හඳුන්වා දී ඇත.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා ‘රාජ්‍ය ආයතන වලට නවෝත්පාදනය සහ නවීන තාක්ෂණය දුරස්තය යන සම්ප්‍රදායික මතවාදය මේ ජයග්‍රහණය තුළින් අභියෝගයට ලක් කිරීමට අපට හැකිවූවා. ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය තුළ නව මං සලකුණු තබමින් සහ රාජ්‍ය අංශයේ ආයතනවලට ජාත්‍යන්තර මට්ටමේ විසඳුම් ලබා දිය හැකි බව සනාථ කරමින් මහජන බැංකුව මෙරට බැංකු ක්ෂේත්‍රය තුළ පෙරමුණ ගෙන සිටිනවා.

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ඩිජිටල් බැංකුකරණය සහ අලෙවිකරණය තුළ අප විසින් අත් කරගෙන ඇති මෙම සාර්ථකත්වය, අපගේ ගනුදෙනුකරුවන් සමඟ සන්නිවේදනය කිරීමට මෙන්ම ඔවුන්ට වටිනාකමක් ලබාදීමට අප විසින් නව තාක්ෂණය යොදාගැනීම සඳහා දරන අඛණ්ඩ උත්සාහයේ ප්‍රතිඵලයක්. උසස් තාක්ෂණය ඒකාබද්ධ කිරීම සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය ප්‍රවේශය වර්ධනය කිරීම තුළින් නවෝත්පාදනය පුද්ගලික අංශයට පමණක් සීමා නොවන බව මහජන බැංකුව සනාථ කළා. ඩිජිටල්මය වශයෙන් සවිබල ගැන්වූ ශ්‍රී ලංකාවක් සඳහා වන දැක්ම සමඟින් මහජන බැංකුව මෙරට බැංකුකරණයේ අනාගතය සඳහා වේදිකාව නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ට්‍රිලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියයි. එමෙන්ම දිවයින පුරා විහිදුනු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 747ක ජාලය සමඟින් මිලියන 15.2කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.

Example Image