hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 28, පෙ.ව. 10:26



ලෝක ක්ෂුද්‍ර-සු`ඵ හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුවේ ‘People’s Spark’ ණය යෝජනා ක්‍රමය හඳූන්වා දීමේ විශේෂ උත්සවයක් කොළඹ 05, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදි පසුගියදා පැවැත්විණි.

මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී/සාමාන්‍යධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ව්‍යාවසායකත්ව බැංකු කටයුතු) වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමණාකාරිත්වය සහභාගි විය. එමෙන්ම මෙහි ප්‍රධාන ආරාධිත ගනුදෙනුකරු ලෙස වත්තල, ඇල්පෙක්ස් මැරයින් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ ජනක මායාකඩුව මහතා සහභාගී වූ අතර, ‘People’s Spark’ වැඩසටහනේ පළමු අදියර තුළින් සාර්ථකත්වයට පත්වූ ගනුදෙනුකරුවකු වන ඇඹිලිපිටිය, සිලෝන් වැලි ඇග්රො ප්‍රොඩක්ට්ස් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ සජිත් රාජපක්ෂ මහතා මෙහිදි සිය ව්‍යාපාරික අත්දැකීම් බෙදාගන්නා ලදි.

මීට අමතරව ‘People’s Spark’ ණය යෝජනා ක්‍රමය යටතේ ණය අයදුම් කළ ගනුදෙනුකරුවන් 15 දෙනෙකු වෙත ණය මුදල් පිරිනැමීමද මෙහි සිදුකෙරිණි.

ක්ෂුදු, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සංවර්ධනය සඳහා මහජන බැංකුව විසින් ප්‍රාථමික, ද්වීතීක හෝ තෘතියීක අධ්‍යාපනය නිමකළ ව්‍යාපාරික උනන්දුවක් ඇති තරුණ තරුණියන් සඳහා ණය යෝජනා ක්‍රමයක් සහිතව ‘People’s Spark’ වැඩසටහන දියත් කර ඇති අතර, මේ සඳහා මහජන බැංකු වෙබ් අඩවිය ඔස්සේ මාර්ගගත ක්‍රමයට අයදුම් කළ හැක. මේ තුළින් 7% සිට වාර්ෂික පොලී අනුපාතයට ණය ලබාගත හැක. මෙම වැඩසටහන යටතේ තරුණ ව්‍යාවසායකයින්ට මූල්‍ය පහසුකම් වලට අමතරව ව්‍යාපාරික උපදේශන සේවාවන්ද පිරිනැමීම විශේෂත්වයකි.

මීට අමතරව, ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ අවස්ථාව සලසමින් මහජන බැංකුව ප්‍රාදේශික මට්ටමින් වෙළඳ ප්‍රදර්ශන 24 ක් සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ පොදු සමුළුව (General Assembly of the United Nations) මඟින් සෑම වර්ෂයකම ජුනි 27 දින ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. මෙය 2017 වසරේ සිට ක්‍රියාත්මක වූ අතර ගෝලීය ආර්ථිකයෙහි තිරසාරාත්මක සංවර්ධනය සඳහා ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් සිදුවන දායකත්වය පිළිබඳ දැනුවත්භාවය වැඩිකිරීම මෙහි අරමුණ විය.