hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 මැයි 04, පෙ.ව. 10:15



ආනයනික සීනි මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යා හැකි බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

ඊට එක් හේතුවක් වී ඇත්තේ ඉන්දියාවෙන් සීනි ආනයනය කිරීම සඳහා ලබා දුන් කෝටාව අවසන් වීම බවයි පැවසෙන්නේ.

ඒ අනුව, මේවනවිට සීනි ආනයනය කරනු ලබන්නේ බ්‍රසීලය ඇතුළු රටවල් කිහිපයකින්. ඉකුත් දින කිහිපයේ සීනි කිලෝවක තොග මිල පැවතියේ රුපියල් 230ක් ලෙසයි.

එහෙත් ඊයේ දිනයේ සීනි කිලෝවක තොග මිල සටහන් වූයේ රුපියල් 250ක් ලෙසයි. අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා පැවසුවේ, කෙසේ වෙතත් ඉන්දියාවෙන් ආනයනය නොකළද මේවනවිට මාස 2කට පමණ සරිලන සීනි තොගයක් රටතුළ පවතින බවයි.

සෙසු රටවලින් ද අඛණ්ඩව සිනි ආනයනය කෙරෙන බවයි ඔහු කියා සිටියේ.

මේ අතර ආනයනික තිරිඟු පිටි සඳහා අය කෙරෙන තීරුබද්ද ඉහළ දැමුණද මෙම අවස්ථාවේ මිල ඉහළ දැමීමක් සිදු කිරීමට අවශ්‍ය නොවන බවයි අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා කියා සිටියේ .

ඒ, ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ගණන් අඩු වීම හේතුවෙන්.

කෙසේ වෙතත් තිරිඟු පිටි කිලෝවක් සඳහා ගෙවූ රුපියල් 25ක් වූ තීරුබද්ද මේවනවිට රුපියල් 45කට ආසන්න මුදලක් දක්වා ඉහළ ගොස් ඇත.

ලෝක වෙළඳපොළේ තිරිඟු පිටි මිල ගණන් ඉහළ ගියහොත් අනිවාර්යෙන්ම මෙරට තිරිඟු පිටි මිල ද ඉහළ දැමීමට සිදුවන බවයි ඔහු කියා සිටියේ. මේවනවිට තිරිඟු පිටි කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 200ත් 205ත් අතරයි.