2023 අප්‍රේල් 18, පෙ.ව. 11:33
කරුණු කිහිපයක් හේතුවෙන් මේ සතියේදී බිත්තර මිල පහත හෙළීමට නොහැකි වන බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පෙරේදා (16) මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් පැවැසුවා.
එහිදී ඒ මහතා මෙසේද සඳහන් කළා.
“මේ රට ලේ විලක් වෙන්න ගියේ. රනිල් මහත්තයා අද වෙනකොට රට ස්ථාවර කරමින් යනවා. පිනට හම්බවුණා කියලා ව්‍යාපාරික ලෝකෙ අපි නම් පිළිගන්නෙ නැහැ. අපි අපේ AIEPA මුහුණු පොතේ ගිණුම මඟින් ගොවීන්ගේ අදහස් විමසුවා. අවුරුද්දෙන් පස්සේ බිත්තර මිල අඩු කරන්න හදනකොට සිංහල අවුරුදුවලට අඩු කරන්න බැරි බිත්තරය මුස්ලිම් අවුරුද්දට අඩු කරන එක ගැන විවිධ චෝදනා ආවා. අපේ සංගමය ආගම් ජාති කුල මල භේද නැති නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න වෙලා.
අනික මේ දිනවල වයඹට දැඩි අව්වක් වැටෙනවා. ඒ හේතුවෙන් වයස්ගත කිකිළියන්ගෙන් සියයට අසූවෙ සිට 50 දක්වා බිත්තර දැමීම පහත වැටිලා. ඒ වගේමයි බොහෝ සතුන් හදවත් පැළිලා මියගිහින්. අද බිත්තර මිල අඩු වෙයි කියන බයට ඇතැම් ගොවීන් සත්තු මසට විකුණලා. ඒ නිසානෙ මස් මිල පහත ගියේ. ඒකත් හේතුවක් අද බිත්තර මිල පහත හෙළීමට බැරි වුණ. බිත්තර පෙට්ටි 25ක් අරගෙන ගාල්ලට ගෙනියන්න බැහැ. බිත්තර පෙට්ටි 100ක් වෙනකල් අපි ස්ටොක් කරගන්න අවශ්‍යයි. බැරි වෙලා හරි එහෙම ස්ටොක් කරන 25ක් තිබ්බනං පාරිභෝගික අධිකාරිය දුවගෙන ඇවිල්ලා නඩු දානවා. අපි අධිකරණයට යන්න සියලු දත්ත සකසලා ඉවරයි මේ වෙනකොට.
විශේෂ කරුණක් තමයි බේකරි හිමියෝ ඉන්දියන් බිත්තරයෙන් කේක් පිපෙන්නේ නැහැ සහ එහි ඇති දුර්ගන්ධය කියලා ඒවා ප්‍රතික්ෂේප කළා. එහෙම කරලා අපේ බිත්තර 15 වැනිදත් එදාට එදාට අරගෙන යනවා. බේකරි සභාපති එහෙම කිව්වට අපි 40 හා 41ට බිත්තර දෙද්දී ඒ අය ෆාම් එකට ඇවිල්ලා රුපියල් 46ට 48ට බිත්තර අරගෙන යනවා. ඒක අපේ වරදක් නෙවෙයි. මේක ඉල්ලුමට සැපයුම තියෙන ආහාරයක්. බිත්තරය 35ට දෙනව නම් බේකරි කෑම අඩු කරනවා කිව්වා. ඉන්දියාවෙන් ගෙන්නලා දුන්නා. ඒ අස්සෙ ගෑස් ආදී බොහෝදේ අඩුවුණා. ඒත් ඒ අයගේ කෑම අඩු කළේ නැහැනෙ. හැබැයි බේකරි සංගමේ ජයවර්ධන කියන ඒවා ගණන් නොගෙන ගමේ බේකරිවල කෑම අඩු කරලා පාරිභෝගිකයන්ට දෙනවා. බිත්තර විතරයි පාරිභෝගික අධිකාරිය බලන්නෙ. ඒවා පේන්නේ නැහැ. බේකරි හිමියෝ පාරට ඇදලා දාන්නෙ ඔය ජයවර්ධන.
ජපානෙ මේ වෙනකොට කුරුලු උණ ව්‍යාප්තියක් නිසා මුළු රටේම කිසිදු අවන්හලකට බිත්තර නොගන්න තත්ත්වයකට ඇවිල්ලා. චීනෙත් එක් අයකු මියගිහින් නිසා ඒ අයත් තහනම් කරමින් යන්නෙ. ඒ අස්සෙ ඉන්දියාවේ කුරුලු උණ පමණක් නෙවෙයි වෙනස්ම කොරෝනා ප්‍රභේදයක් ආසාදිත වූවන් ලක්ෂ ගණනක් හොයාගෙනලු. ඉතින් මේ මාධ්‍ය පිළිබඳවත් අවධානයෙන් ඉන්න. අපේ පාරිභෝගික ජනතාව දැනුවත් නිසාම ඒ බිත්තරය ප්‍රතික්ෂේප කරන එක අපේ වරදක් නෙවෙයි.
ඉන්දීය බිත්තරය මේ වන විට සංචාරක කර්මාන්තයට පවා බලපාලා තියෙනවා. බිත්තරය කට්ට ඉවත් කර ආහාර පාන සපයන රෝහල් ආදී පොදු ස්ථානවල හැරුණුකොට සංචාරකයෝ අපේක්ෂා කරන්නේ කට්ට එක්ක. ඒ අය කැමැති කටුව ඒ අය ඉදිරියේ ඉවත් කරනවාට. අපි දන්නවා අද වෙනකොට සංචාරකයෝ ඉන්දියන් බිත්තරය ප්‍රතික්ෂේප කරනවා. අනික අපි අහනවා කෝ ගෙනාව ඉන්දීය බිත්තරය. අපිට පෙන්නන්නකෝ මාධ්‍යත් එක්ක ගිහින්. ඇමැතිට බැරි වුණා මේ වයඹට ඇවිල්ලා මේ නිෂ්පාදන පිළිබඳව හොයා බලන්න. මේ අවුරුද්දෙවත් එක මේසෙක සාකච්ඡාවකට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපි පැහැදිලිව කියනවා පාරිභෝගික අධිකාරිය නිෂ්පාදකයාට හිරිහැර නොකළොත් මැයි 01 වෙනකොට බිත්තර මිල දැනෙන ප්‍රමාණයක් අඩු වෙනවා සහතිකයි.”
2024 දෙසැම්බර් 26, ප.ව. 1:46
2024 දෙසැම්බර් 24, ප.ව. 5:22
2024 දෙසැම්බර් 23, ප.ව. 5:46
2024 දෙසැම්බර් 23, ප.ව. 5:07
2024 දෙසැම්බර් 20, ප.ව. 3:48