hit counter

2025 මැයි මස 11 වන ඉරිදා

2023 ජූනි 06, ප.ව. 5:16



මේ දිනවල  වෙළෙඳපොළේ සුළු අපනයන බෝග මිල ශීඝ්‍ර ලෙස පහළ යෑම හේතුවෙන් කෘෂිකාර්මික කටයුතුවල නියැළෙන පිරිස් මෙන්ම ව්‍යවසායකයන්ද දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

විශේෂයෙන් කුරුදු, ගම්මිරිස්, ගොරකා, කරාබු සහ කරුංකා යන බෝගවල මිල මෙලෙස වෙළෙඳපොළේ විශාල වශයෙන් අඩු වී ඇති අතර ඒ හේතුවෙන් එම බෝග වර්ග මිලයට ගැනීමට පවා ව්‍යාපාරිකයෝ දැඩි මැළිකමක් දක්වන බවද ගොවීහු පවසනවා.

දකුණු පළාතේ ගාල්ල හා මාතර යන දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් වගා කරනු ලබන කුරුදුු නිෂ්පාදනවල මිලද පහළ යෑම නිසා ඉදිරියේදී තම වගා කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් පවතින බවද ගොවීහු පවසනවා.

පසුගිය දිනවල වෙළෙඳපොළේ ගොරෝසු වර්ගයේ කුරුදු කිලෝග්‍රෑම් එකක් රුපියල් 3,100ක් තරම් ඉහළ අගයක පැවැතියත් දැනට එම වර්ගයේ කුරුදු කිලෝ එකක වෙළෙඳපොළ වටිනාකම රුපියල්  2,500 –  2,600ක් තරම් පහළ අගයක වන අතර, 4-5 වර්ගයේ කුරුදු කිලෝවක් රුපියල් 3,700 සිට 3,000 දක්වාත් ඇල්බා  වර්ගයේ කුරුදු කිලෝවක් රුපියල් 6,200 සිට 5,000 දක්වාත් මිල පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ ආරංචි මාර්ග පැවැසුවා. 

තවද ගම්මිරිස් 1,650 සිට 1,310 දක්වාත්, ගොරකා 270 සිට 200 දක්වාත්, කරුංකා 1,050 සිට 850 දක්වාත් මිල පහළ යෑමක් පෙන්නුම් කරනවා.

මෙලෙස සුළු අපනයන බෝගවල මිල පහළ යෑමට හේතුව සම්බන්ධයෙන් වෙළෙඳපොළ ආශ්‍රයෙන් අප කළ විමසීමකදී ව්‍යාපාරිකයන් බොහෝ දෙනකු ප්‍රකාශ කර සිටියේ මේ අයුරින් එකවරම සුළු අපනයන බෝගවල මිල පහත යෑමට හේතුව වශයෙන් ඩොලරයේ අගය පහත යෑම ප්‍රධාන සාධකයක් වී ඇති බවයි.

මේ තත්ත්වයෙන් මිදී සුළු අපනයන බෝග මිල ඉහළ අගයක පවත්වාගෙන යෑමට නම් ගොවීන් මීට වඩා සැලකිලිමත් වී තම නිෂ්පාදනය ඉහළ ප්‍රමිතියෙන් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුව ඇති බව ව්‍යාපාරිකයෝ පවසනවා.

කෙසේ වෙතත් ගොවීන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ රටේ ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබා දෙන සුළු අපනයන බෝග වගාකරුවන් ආරක්ෂා කිරීමට රජය මැදිහත් වී යම්වැ ඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවක් පැන නැඟී ඇති බවයි.