hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 නොවැම්‍බර් 08, ප.ව. 4:24



ඉදිකිරීම් සහ භූමි අලංකරණය, සංචාරක කර්මාන්තය, දේපළ වෙළඳාම්, ආරක්ෂණ සේවා ඇතුළු ව්‍යාපාර ක්ෂේත්‍ර ගණනාවක් පුරා විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන SMS හෝල්ඩිංග්ස් සමාගම පසුගියදා සිය අධ්‍යක්ෂ මණ්ඩලයට තරුණ ක්‍රියාශීලී නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කළ බවට නිල වශයෙන් නිවේදනය කළේය.

එලෙස නව අධ්‍යක්ෂවරුන් ලෙසට පත්  වූයේ අශාන් සෙනෙවිරත්න මහතා සහ නේෂා සෙනෙවිරත්න මෙනෙවියයි.

වසර 23 කට පෙර ආරම්භ වී සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ෂෙහාන් සෙනෙවිරත්න මහතාගේ දූරදර්ශී නායකත්වය යටතේ දැවැන්ත සමාගම් සමූහයක් බවට පත් වූ SMS හෝල්ඩිංග්ස් සමාගමේ නව පරිච්ඡේදයක ඇරඹුම මෙම නව අධ්‍යක්ෂවරුන්ගේ පත්වීම සමඟ සනිටුහන් වන බව සමාගම සඳහන් කර සිටී.

නව අධ්‍යක්ෂ අශාන් සෙනෙවිරත්න,

ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් සරසවියේ උපාධිධාරියෙක් වන අශාන් සෙනෙවිරත්න මහතා ව්‍යාපාර කළමනාකරණය, තාක්ෂණය සහ ඉංජිනේරු ක්ෂේත්‍රයන්හි ලබා ඇති අත්දැකීම් සහ ප්‍රවීණත්වය SMS සමූහයේ ඉදිරි ගමනට දැවැන්ත සවියක් වනු ඇත. තොරතුරු තාක්ෂණ ව්‍යාපෘති කළමනාකරුවෙක් වශයෙන් ඕස්ට්‍රේලියානු ආරක්ෂක අමාත්‍යංශය, කොකාකෝලා සමාගම සහ ඕස්ට්‍රේලියාවේ රාජකීය ළමා රෝහල වැනි කීර්තිමත් ආයතන වෙනුවෙන් සේවය කර අත්දැකීම් රැසක් ලබා ඇති අශාන් සෙනෙවිරත්න මහතාගේ දැක්ම වන්නේ Internet of Things (IoT), Machine Learning සහ කෘතිම බුද්ධිය (AI) වැනි නව තාක්ෂණයන් යොදා ගෙන ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දායක වීමයි. එමෙන්ම අධ්‍යාපන ක්ෂේත්‍රය කෙරෙහි විශේෂ කැමැත්තක් දක්වන ඒ මහතා රජයේ ඊ අධ්‍යාපන වැඩටසහන්වලට සහය වෙමින් ශ්‍රී ලංකාව අධ්‍යාපනය අංශයෙන් කලාපයේ පෙරමුණට ගෙන ඒමට කටයුතු කිරීමටද අපේක්ෂාවෙන් පසු වෙයි. 

නව අධ්‍යක්ෂ නේෂා සෙනෙවිරත්න මෙනෙවිය,

ජාත්‍යන්තර වෙළඳාම සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබදව උපාධිධාරිනියක් වන නේෂා සෙනෙවිරත්න මෙනෙවිය ඕස්ට්‍රේලියාවේ කීර්තිමත් Master Builders වැනි ආයතනවල මෙහෙයුම් කණ්ඩායම්වලට සාර්ථකව නායකත්වය ලබා දෙමින් ක්‍රමෝපායික පරිපාලනය සහ ජාත්‍යන්තර වෙළඳාම යන ක්ෂේත්‍රයන්හි පුළුල් නිපුණත්වයක් ලබා ඇති වෘත්තීයවේදිනියකි. SMS සමාගමේ ජාත්‍යන්තර අපනයන වෙළදාම උසස්ම තත්ත්වයේ කුරුඳු නිෂ්පාදන අපනයනය හරහා ලොව පුරා කීර්තිය දිනූ සන්නාමයක් බවට පත් කිරීම ඇයගේ කාර්යභාරය වනු ඇත. එමෙන්ම SMS සමාගමේ ඕස්ට්‍රේලියානු ව්‍යාපාර අංශයන් තව දුරටත් සවිමත් කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමටද ඇය කටයුතු කරනු ඇත.

SMS සමූහ ව්‍යාපාරයේ ආරම්භකයින් වන ශෙහාන් සෙනෙවිරත්න සහ විපුලි සෙනෙවිරත්න මහත්ම මහත්මීන්ගේ දිරිගැන්වීම සහ ආශිර්වාදය සමඟ නව අධ්‍යක්ෂ දෙපළ සිය දැනුම, ප්‍රවීණත්වය සහ අත්දැකීම් සම්භාරය නිසි ලෙස යොදවමින් SMS සමූහය තව දුරටත් සාර්ථකත්වයේ ඉහළටම ගෙන යාමට කටයුතු කරනු ඇත.