hit counter

2024 සැප්‍තැම්‍බර් මස 16 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 02, ප.ව. 12:31



මෙරට කීර්තිමත්ම ඇලුමිනියම් නිෂ්පාදන සමාගමක් වන ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම මෑතකදී පැවත්වුණු CIOB (Ceylon Institute Of Builders) විසින් සංවිධානය කරන ලද 2024 හරිත සම්මාන උළෙලේදී රන් සම්මානයකින් පිදුම් ලැබීය- මෙම සුවිශේෂී සම්මානය ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ISO 9001:2015, ISO 14001:2018 සහ ISO 50001:2018 වැනි ජාත්‍යන්තර ප්‍රමිතිකරණයන් සහ අවම කාබන් මුදා හැරීම සම්බන්ධ ප්‍රමිතිකරණයන්ට අනුකූල වෙමින්, ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය සම්බන්ධව පවත්වා ගෙන යන නායකත්වය තවදුරටත් තහවුරු කරන්නකි.

ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ඉතා දීර්ඝ කාලයක් පුරා සිය ව්‍යාපාර සහ නිෂ්පාදන මෙහෙයුම් සඳහා තිරසාර පිළිවෙත් සහ විසඳුම් රැසක් යොදවා ඇති අතර සමාගම විසින් මෑතකදී ස්ථාපනය කරන ලද මෙගා වොට් 1- 5 ක ධාරිතාවයකින් යුත් සූර්ය පැනල පද්ධතිය ඊට මනා  උදාහරණයකි. දෛනිකව කිලෝ වොට් පැය 6000 කට අධික බලශක්ති ප්‍රමාණයක් නිෂ්පාදනය කරන එම සූර්ය පැනල පද්ධතිය හරහා මාසිකව කාබන් ඩයොක්සයිඩ් කිලෝ ග්‍රෑම් 192,600 ප්‍රමාණයක් පරිසරයට විමෝචනය වීම වළක්වාලීමට ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමට හැකියාව ලැබී ඇත. ඊට අමතරව ස්විස්ටෙක් ඇලුමිනියම් කර්මාන්තශාලා පරිශ්‍රයේ ස්ථාපනය කර ඇති Reverse Osmosis ජල පිරිපහදු බලාගාරය පැයකට 1.5 m³ ධාරිතාවයකින් ක්‍රියාත්මක වන අතර එම නිසා සමාගමට මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමට සහ ජල පරිභෝජනය අවම කිරීම කිරීම හරහා පරිසර සංරක්ෂණයට දායක වීමටද හැකියාව ලැබී ඇත.  

“ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම නිෂ්පාදනවල උසස් තත්ත්වය සහ පරිසර හිතකාමී බව පිළිබඳව මෙන්ම ඇලුමිනියම් ක්ෂේත්‍රය තුළ තිරසාරත්වය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ සැළකිල්ලක් දක්වනවා. තිරසාරත්වය සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති පියවර ක්ෂේත්‍රය තුළ නව සම්මතයන් සහ ප්‍රමිතීන් නිර්මාණය කිරීමට දායක වී තිබෙන ආකාරය දැකීම අපට සතුටක්. ඉදිරියටත් අඛණ්ඩවම තිරසාරත්වය ප්‍රවර්ධනය කරමින් ශ්‍රී ලංකාවේ ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ පරිසර හිතකාමී ප්‍රවණතාවයන් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගමේ අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී තරිඳු අතපත්තු මහතා පැවසීය.

2009 වසරේ ආරම්භ කරන ලද ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම මෙරට ඇලුමිනියම් නිෂ්පාදන ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛතම සමාගමකි. ස්විස්ටෙක් ඇලුමිනියම් සමාගම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ කීර්තිමත්ම සමාගම් සමූහයක් වන වැලිබල් වන් පී එල් සී සමූහයට අයත් ලංකා වෝල්ටයිල් පී එල් සී සමාගමට අනුබද්ධිත සමාගමක් වන අතර ලොව පුරා විසිරුණු කීර්තිමත් ඉදිකිරීම් ව්‍යාපාර වලට සිය ජාත්‍යන්තර ප්‍රමිතියේ නිෂ්පාදන සැපයීම හරහා කීර්තියක් දිනා සිටින සමාගමකි.