hit counter

2025 ජූනි මස 24 වන අඟහරුවාදා

2025 ජූනි 24, පෙ.ව. 9:07



සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ, ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟත්වය පළ වී ඇති බවත් ඉදිරි පැය 6ක කාලය තුළ එම සටන් විරාමය ආරම්භ වනු ඇති බවත් ය.

මැදපෙරදිග යුද්ධය ඉදිරි පැය 24 තුළ නිල වශයෙන් අවසන් වන බව ද එම සටහනේ සඳහන්ය.

සිය සමාජ මාධ්‍ය සටහනේ අවසානය “දෙවි පිහිටයි ඉරානය, දෙවි පිහිටයි මැදපෙරදිග, දෙවි පිහිටයි අමෙරිකාව සහ දෙවි පිහිටයි ලෝකය” යනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආශිර්වාදය සැබෑ එකක්ද, නැතහොත් එහි යම් යටි අරුතක් ගැබ්ව ඇතිද යන්න ලෝක දේශපාලනය තුළ යම් කතාබහකට ලක්ව ඇති බවද පැවසෙයි.

කෙසේවෙතත් කිසිදු සටන් විරාමයක් හෝ හමුදා මෙහෙයුම් නැවැත්වීමේ තීරණයක් සම්බන්ධයෙන් වූ ගිවිසුමක් ගෙන නොමැති බව ඉරානය පවසයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ඊශ්‍රායල ප්‍රහාර නවත්වන්නේ නම් ඉරානයට ද ඒ පිළිබඳ එකඟතාවයකට පැමිණිය හැකි බවය.

කෙසේවෙතත් ඊශ්‍රායල ප්‍රහාර හමුවේ සිය හමුදා මෙහෙයුම් අවසන් මිනිත්තුව දක්වා සිදුකරන බව ද ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම සියලු ඉරාන වැසියන් සමග එක්ව රට ආරක්ෂා කිරීමට අවසන් ලේ බිංදුව දක්වා සුදානමින් සිටින සතුරාගේ ඕනෑම ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමට නිර්භීතව ඉදිරිපත්ව සිටින සන්නද්ධ හමුදාවන්ට තම ස්තූතිය පිරිනමන බව ද විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි වැඩිදුරටත් සිය ට්විටර් ගිණුමේ සටහන් තබා තිබේ.