hit counter

2026 පෙබරවාරි මස 10 වන අඟහරුවාදා

2026 පෙබරවාරි 09, ප.ව. 4:04



ජපාන පාර්ලිමේන්තු මැතිවරණයෙන් අගමැතිණි සනායේ තකයිචිගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබී තිබෙනවා.

ජපන් පාර්ලිමේන්තුවේ ආසන 465 කින් යුක්ත පහළ මන්ත්‍රී මණ්ඩලය සඳහා ඉරිදා පවත්වන ලද මැතිවරණයේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ආසන 316 ක් ලැබුණ අතර එහි සන්ධාන සගයා වූ ජපන් නවෝත්පාදන පක්ෂයට ආසන 36 ක් ලැබී තිබෙනවා.

ඒ අනුව සමස්ථ සන්ධානය විසින් ආසන 352 ක් දිනාගනු ලැබුණා.

ප්‍රධාන විපක්ෂ සන්ධානය වූ මධ්‍යස්ථ ප්‍රතිසංස්කරණවාදී පක්ෂය දිනාගත්තේ ආසන 49 ක් පමණයි. මේ අතර ජනතාව සඳහා වන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ආසන 28 ක්, සෙන්සෙයිතෝ පක්ෂය ආසන 15 ක් සහ මිරායි කණ්ඩායම ආසන 11 ක් දිනාගන තිබෙනවා.

මෙයින් සෙන්සෙයිතෝ පක්ෂය සංක්‍රමණ විරෝධී, ජාතිකවාදී පක්ෂයක් වන අතර ටීම් මිරායි හෙවත් මිරායි කණ්ඩායම (අනාගත කණ්ඩායම​) තාක්ෂණවේදී, අනාගතවාදී පක්ෂයක් ලෙස සැලකෙනවා.

සනායේ තකයිචිගේ ජයග්‍රහණය ජපන් ඉතිහාසයේ තනි පක්ෂයක් විසින් ලබාගත් විශාලම බහුතරය සනිටුහන් කරනවා. එමෙන්ම මෙම ප්‍රතිඵලය අනුව​​, උත්තර මන්ත්‍රී මණ්ඩලය විසින් යම් පනතක් ප්‍රතික්ෂේප කළ ද තුනෙන් දෙකක බහුතරයෙන් එය සම්මත කරගැනීමේ හැකියාව තකයිචිට ලැබෙනවා.

ඒ අනුව ආරක්ෂක වියදම් වැඩි කිරීම ආදී ඇගේ සැලසුම් බාධාවකින් තොරව ක්‍රියාවට නැංවීමට තකයිචිට අවස්ථාව ලැබෙනවා.