hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 20, ප.ව. 1:28



අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇති කුඩා සහ විශාල ප්‍රමාණයේ වැව්, කළු දිය පොකුණ, නාග පොකුණ යන සියල්ල මේ වන විට ජලයෙන් පිරී ගොස් ඇති බැවින් අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ජනතාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතු බව අනුරාධපුර කොට්ඨාස පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය පවසනවා.

එම ජීවිත ආරක්ෂක කණ්ඩායම් සඳහා ප්‍රථමාධාර කට්ටල ලබාදීමේ අවස්ථාවකට එක්වෙමින් එම ඒකකයේ උසස් නිලධාරියකු මේ බව සඳහන් කළා.

පොසොන් පොහොයට අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා අනුරාධපුර පූජා නගරය, මිහින්තලය සහ තන්තිරිමලය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් ආශ්‍රිතව ජීවිත ආරක්ෂක නිලධාරීන් 350ක් පමණ යොදවා ඇති බවයි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතා පැවසුවේ.

අනුරාධපුර පොලිස් ජීවිත ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන්, නාවික හා සිවිල් ආරක්ෂක නිලධාරීන් ඇතුළුව පාසල් ජීවිතාරක්ෂක සංගම්වල දරුවන් ඒ සඳහා යොදවා තිබෙනවා.

ඒ අනුව පොසොන් පොහොය නිමිත්තෙන් අනුරාධපුරයේ වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය මගින් නම් කර ඇති ස්ථානවලින් පමණක් දිය නෑම සිදු කරන ලෙසයි පොලීසිය දැනුම් දී ඇත්තේ.

ලබා දී ඇති උපදෙස් අනුව කටයුතු කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගෙන් ඉල්ලීමක් කළා.

ජීවිත ආරක්ෂක කණ්ඩායම් සඳහා හදිසි අවස්ථාවකදී භාවිත කිරීම සඳහා ප්‍රථමාධාර කට්ටල එම කණ්ඩායම් වෙනුවෙන් ලබාදීම අනුරාධපුර කොට්ඨාස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, තිළිණ හේවාපතිරණ, කොට්ඨාස ජීවිත ආරක්ෂක ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතා අතින් සිදු කෙරුණා.

මේ අතර අනුරාධපුර නගරයේ රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා, රථ වාහන ගමන් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත්, පිටතින් පැමිණෙන රියැදුරන්ට දැන ගැනීම සඳහා අනුරාධපුර නගරයේ සහ පූජා නගරයේ මාර්ග සහ රථ වාහන නවතා තැබිය හැකි ස්ථාන සඳහන් සිතියම් පත්‍රිකාවක් ලබා දෙන බවත් පොලිස් රථ වාහන අංශය සඳහන් කළා.

මෙවර පොසොන් පොහොය නිමිත්තෙන් පොසොන් සතිය පුරාවට දන්සල් විශාල ප්‍රමාණයක් පැවැත්වෙන බැවින්, මාර්ගවල රථ වාහන ධාවනයට බාධාවක් නොවන අයුරින් එම දන්සල්වල වැඩ කටයුතු සිදුකරන ලෙසයි එම දන්සල් සංවිධායකයන්ගෙන් පොලීසිය ඉල්ලීමක් කළේ.

සංවිධානාත්මක සොරකල්ලි, ගැට කපන්නන් පොසොන් උත්සවය මූලික කරගෙන අනුරාධපුරයට පැමිණෙන බැවින් බැතිමතුන් තමන් රැගෙන එන මුදල්, රථ වාහන, රන්භාණ්ඩ ඇතුළු දේපල සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසට ද පොලීසිය දැනුම් දෙනවා.

ජනතාව වැඩි වශයෙන් තෙරපෙන බස් රථ, මිහින්තලා දුම්රිය, දන්සැල්, පූජනීය සිද්ධස්ථාන තුළ මෙම සොරුන් සිටිය හැකි බවයි පොලිසිය සඳහන් කළේ.

අනුරාධපුරයට පැමිණෙන බැතිමතුන්ගේ ආරක්ෂාව සඳහා මෙවර පොසොන් උත්සවයට පොලිස් නිලධාරීන් 4500ක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: