hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2023 මාර්තු 07, ප.ව. 12:52



රාජ්‍ය පරිපාලන නිලධාරීන්ගෙන් තමන්ට එල්ලවන අනීතික බලපෑම් දිනෙන් දින වැඩිවීම හේතුවෙන් ඉදිරි සතිය තුළ ඔවුනට එරෙහිව නීතිමය පියවර ගැනීමට මෙන්ම මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය පවසනවා.                                                                                      

මහනුවරදී ඊයේ (06) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පලකල ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක බී.එම්.බී. බස්නායක මහතා සඳහන් කළේ සමාජ සුභ සාධක මණ්ඩලය මගින් මේ වන විට දිවයින පුරා වෙසෙන සියලු පවුල් සංඝණනය කිරීමේ ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවත් මෙම පනතේ ඇති ඇතැම් වගන්ති මගින් රාජ්‍ය ක්ෂේත්‍ර නිලධාරින් සිරගත කිරීමේ අවදානමක් උද්ගතව පවතින බැවින් සමස්ථ ලංකා සංවර්ධන නිලධාරි සංගමය, ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය, ශ්‍රී ලංකා සමෘධි සංවර්ධන නිලධාරි සංගමය සහ ශ්‍රී ලංකා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමය මෙම සංගණන කටයුතු වලින් ඉවත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බවයි.

තවදුරටත් මාධ්‍ය හමුව ඇමතු ඒ මහතා මෙසේද සඳහන් කළා.

“මේ වන විට මේ රටේ ඉන්න පවුල් ලක්ෂ 50 කට අධික සංඛ්‍යාවක් සංඝණනය කරන්න කියලා අපිට දැනුම් දීලා තියෙනවා. අපි ‍ ශ්රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තිය සමිති සම්මේලනය වශයෙන් ඊට විරෝධය දක්වලා වෘත්තීය ක්‍රියාමාර්ගයක ඉන්න අවස්ථාවේ රාජ්‍ය පරිපාලන නිලධාරීවරු ඒ කියන්නේ දිසාපතිවරු හා ප්‍රාදේශීය ලේකම්වරු අපේ සංගමයේ නිලධාරීන්ට බරපතළ ආකාරයෙන් බලපෑම් කරනවා මේ කටයුත්ත කරන්න කියලා. මේ හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා. මේ බලපෑම තවදුරටත් සිදු කරනවා නම් අපි මේ රාජ්‍ය පරිපාලන නිලධාරීන්ට එරෙහිව මානව හිමිකමි යෑමට මෙන්ම නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. අද රජයෙන් කියනවා මේ එක පවුලක සංඝනන සමීක්ෂණ කටයුතු වෙනුවෙන් අපිට රුපියල් 300 ක මුදලක් ගෙවනවා කියලා.

ඉතින්  පවුල් ලක්ෂ 50 කට රුපියල් 300 ගානෙ අපිට ගෙවනව නම් ඒකට රුපියල් ලක්ෂ විසිදහසක් පමණ දළ වශයෙන් යනවා. මේ රටේ දැවැන්ත ආර්ථීක අර්බුදයක් තියෙන වෙලාවේ ඡන්දයක් තියන්න සල්ලි නෑ කියන වෙලාවේ රජය කොහොමද මේ සංඝණනයට මේ තරම් මුදලක් වියදම් කරන්නේ. අපිට විශේෂ තොරතුරක් දැනගන්න ලැබිලා තියෙනවා. අප්‍රියෙල් මාසයේ වෙනකොට රටේ සමාජ සුබසාධන වැඩපිළිවෙළ යටතේ සමුර්ධි සහනාධාර, රෝගාබාධ සහනාධාර මුදල්, වැඩිහිටි දීමනා ලබාගන්නා අයගේ දීමනා සියයට හැත්තෑ පහක් පමණ කපා හරින්න රජය සූදානම් වෙනවා කියලා. මේක ඉතාමත් විශ්වාසවන්ත ආරංචියක්. රජය මේ අවස්ථාවේ සිදු කරන්න යන මේ ක්‍රියාවලිය අපි පිළිකුලෙන් යුක්තව බැහැර කරන බව කියන්න ඕනේ. මේ වෙලාවේ රජය මේ තරම් උවමනාවෙන් ඒ සමාජ සුබසාධන පනත සංඝණනය ක්‍රියාත්මක කරන්න යන්නේ ඇයි කියලා අපි ශ්‍රී ලංකා රාජ්‍ය නිලධාරි වෘත්තීය සමිති සම්මේලනය වශයෙන් ප්‍රශ්න කරනවා.”

මෙහිදී අදහස් පලකල ශ්‍රී ලංකා ගාම නිලධාරි සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජේරත්න කියා සිටියේ,

“මෙම සංගණන වැඩසටහන හඳුන්වා දීමේදී අපි මුලින්ම කීවේ එක නිවසක් සඳහා අපිට රුපියල් 150 ක් දෙන්න කියලයි. නමුත් රජය බලහත්කාරයෙන්ම අපිට එක නිවසක් සඳහා රුපියල් 300 ක් ගෙවන්නම් කීවා. අපි මේ පනත ගැන අධ්‍යනය කළා එතකොට තමයි රහස හෙළි වුණේ. මේකේ තියනවා අව්‍යාජත්වය පිළිබඳව ජනතාව මෙන්ම සංඝණනය කරන ක්ෂේත්‍ර නිලධාරියාද වගකිව යුතුයි කියලා. නිවැරදි තොරතුරු දුන්නෙ නැත්නම් මහජනතාවට වසර 03 ක් හිරේ යන්න වෙනවා කියලා තියෙනවා. නිවැරදි තොරතුරු ලබා ගත්තේ නැත්නම් රාජ්‍ය නිලධාරියාට වසරක් හිරේ යන්න වෙනවා කියලා තියෙනවා. අපි කොහොමද ජනතාවගේ සියලු තොරතුරු ලබාගන්නේ. ඇතැම්විට අද මහමග ඉන්න යාචකයන්ට පවා ගොඩනැගිලි, රථ වාහන, විශාල බැංකු ගිණුම් තිබෙනවා. අපි ඒවා හොයන්නේ කොහොමද. නුවර ඉන්න කෙනෙකුට ත්‍රීකුණාමලේ යම්කිසි දේපලක් හිමි වෙලා ඉන්න පුළුවන්.

අපි කොහොමද ඒව හොයන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී අපිට කරන්න බෑ. ඒ නිසයි අපි කිව්වේ මේ වගන්තිය ඉවත් කළොත් අපි මේ සංගණනයට එකතු වෙන්නම් කියලා. නමුත් මේ දක්වා ඒකට පිළිතුරක් නෑ. රජය හදන්නේ  අල්ලස් දීලා අපිව හිරේ දාන්නයි. අනිත් එක මේ වෙලාවේ රජය මේ සංගණනය කරලා ජනතාවට බලාපොරොත්තු දෙනවා. සහන දෙන්නම් කියලා. මේ මැතිවරණ කාලේ ඒක නීති විරෝධියි. අපි මේ පිළිබඳව මැතිවරණ කොමිසමට පැමිණිලි කළත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් මේ දක්වා ලැබුණේ නෑ. රාජ්‍ය නිලධාරීන්ට පඩි ගෙවන්න මුදල් නැති අවස්ථාවේ මේ වැඩේට රුපියල් ලක්ෂ විසිදහසක් ගෙවන්න රජයට මුදල් තියෙනවාද කියලා අපි අහනවා. මේක විශාල රැවටිල්ලක්. රටේ ජනතාව වගේම අපිත් ගොනාට අන්දන්න තමයි ආණ්ඩුව හදන්නේ.

අපි මේ වැඩේ වර්ජනය කෙරුවම රාජ්‍ය නිලධාරීන් අපිට දැඩි බලපෑම් කරනවා ඒක කරන්නේ කියලා. මේ බලපෑම් දැන් එන්න එන්න වැඩි වෙනවා. ක්ෂේත්‍ර නිලධාරීන්ට මේක දැඩි මානසික පීඩාවක් වෙලා තියෙන්නේ. තව  දුරටත් අපිට මේක ඉවසන්න බෑ. අපි තීරණය කළා ලබන සතියේ දිස්ත්‍රික් ලේකම්වරු 28 දෙනාට සහ ප්‍රාදේශීය ලේකම්වරු 330 ට එරෙහිව නීතිමය පියවර ගැනීමට සහ මානව හිමිකම් කොමිසම හමුවට යාමට. සමාජ සුභසාධන පනතේ වගන්ති වෙනස් කළොත් පමණයි අපි මේ වැඩේට සම්බන්ධ වෙන්නේ. දැන් රජයේ සූදානම කලමනාකාර සහකාරවරු සහ බහුකාර්ය ක්ෂේත්‍ර නිලධාරීන් වශයෙන් බඳවා ගත් අය යොදවලා මේ වැඩේ කරගන්නයි. අපි රජයට කිව්වා ස්වේච්ඡා සංවිධාන හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් යොදවා මේ වැඩේ කරන්න කියලා. නමුත් ඒ ගැන තවම හිතලවත් නෑ. රජය හදන්නේ මේ පනත හරහා අපිව හිරේ යවලා අපේ විශ්‍රාම වැටුපත් නැති කරන්නයි. මේකට කවදාක්වත් අපි එකඟ වෙන්නේ නෑ.”

මෙම මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා සමෘද්ධි සංවර්ධන නිලධාරි සංගමයේ සභාපති සුජීව වික්‍රමසිංහ, ශ්‍රී ලංකා කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර සංගමයේ භාණ්ඩාගාරික මංජුල ආරියරත්න එන්න සමස්ථ ලංකා සංවර්ධන නිලධාරි සංගමයේ නියෝජිත පිරිසක්ද අදහස් පළ කළා.