hit counter

2025 ජනවාරි මස 27 වන සඳුදා

2023 අගෝස්‍තු 07, ප.ව. 8:44



හෝමාගම පිටිපන පන්සල් හන්දිය දිරිය ශක්ති සාවත නිවාස සංකීර්ණයට යන මාර්ගයක අයිනට වන්නට බුද්ධ මන්දිරයක් ඉදි කිරීමට යාමේදී දෙපාර්ශවයක් අතර ඇති වූ ගැටළුවක් මත එම ස්ථානයේ තැන්පත් කිරීමට ඊයේ  (06) දින වඩම්වා තිබූ බුදු පිළිමයක් හෝමාගම මූලස්ථාන පොලිසිය වෙත තාවකාලිකව වැඩම කරවීමට කටයුතු කල බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසනවා.

තමන්ගේ අකමැත්ත මත අදාල මාර්ගයේ බුද්ධ මන්දිරයක් ඉදි නොකරන ලෙසට එම මාර්ගයේ ජීවත්වන අයෙක්  සිදුකල කල පැමිණිල්ලක් මත මෙලෙස පොලිස් නිළදාරීන් කණ්ඩායමක් අදාල බුද්ධ මන්දිරය ඉදි කිරීම තාවකාලිකව නැවැත්වීමට කටයුතු කල බවද පොලිසිය පවසනවා.

එම අවස්ථාවේදී ගමේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව සංඝයා වහන්සේ පිරිත් සජ්ජායනය කොට තැන්පත් කල  බුදු පිළිමය පොලිස් ජීප් රියක පසුපස දාගෙන රැගෙන ගිය බව එම ගම්වාසීහු පවසයි.

අදාල මාර්ගයේ මෙලෙස බුද්ධ මන්දිරයක් තැනීමට හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් අනුමැතිය ලබා දී නොමැති බවත් තම නිවසට යන මාර්ගයේ මෙලෙස බුද්ධ මන්දිරයක් තැනීම නිසාවෙන් තම රථ වාහන රැගෙන යාමට අපහසු වන බවත් ඒ ආසන්නයේම විහාරස්ථානයක් තිබෙන බැවින්  මෙලෙස බුද්ධ මන්දිරයක් අවශ්‍ය නොවන බවත් පැමිණිලි පාර්ශ්වය විසින් පවසා ඇත.

එම මාර්ගයේ ම ජීවත්වන අනෙක් පාර්ශ්වය පවසා ඇත්තේ තම නිවාස සංකීර්ණය සදහා බුද්ධ මන්දිරයක් අවශ්‍ය බවත් ඒ සදහා සුදුසුම ස්ථානය නිවාස සංකීර්ණයට පිවිසෙන මෙම ස්ථානය බවත් ඒ පිළිබදව විමසා අදාල පදිංචිකරුවන් ගෙන් ලිඛිතව අවශ්‍ය අදාල අවසරය ලබා ගත් බවත් අනෙක් පාර්ශ්වය පවසා ඇත.

මේ වන විට බුද්ධ මන්දිරයේ කොටසක් ඉදිකර ඇති බවත් ඒ නිසාවෙන් මේ පිළිබදව නිවරැදිවම හෝමාගම ප්‍රාදේශීය සභාවෙන් විමසා ඉදිරි කටයුතු සදමා අවසර දෙනවාද නැද්ද යන්න තීරණය අද (07) දින ගන්නා බවද හෝමාගම මූලස්ථාන පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසුවා.

එසේම අදාල පැමිණිලිකරැගේ තත්වය මත මෙම බුද්ධ මන්දිරය ඉදි කරන ස්ථානයේ දින තුනක් පැය 24 පුරාම පොලිස් ආරක්ෂාව ලබා දීමටද හෝමාගම පොලිසිය කටයුතු කර ඇති බවද ගම්වාසීහු පවසනවා.