hit counter

2026 පෙබරවාරි මස 26 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11



වර්තමාන රජය යටතේ සිදුකළ ගල් අඟුරු ටෙන්ඩර් ක්‍රියාවලිය කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව, අතිශය විනිවිදභාවයකින් යුතුව සිදු කර ඇති බව මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා අවධාරණය කරයි. 

පසුගිය පාලන සමයන්හිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව කැබිනට් පත්‍රිකා මගින් හිතුමනාපයට ටෙන්ඩර් ලබාදුන්නද, මෙවර විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් හරහා වැඩිම ලංසුකරුවන් පිරිසක් අතරින් සුදුසුම පාර්ශවයන් තෝරාගත් බව අමාත්‍යවරයා පැවසීය.

ගිවිසුමට අනුව ගල් අඟුරුවල ගුණාත්මකභාවය හෙවත් කැලරි වටිනාකම ඒවා පටවන අවස්ථාවේදී සහ ගොඩබාන අවස්ථාවේදී පරීක්ෂා කිරීම අනිවාර්ය බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත්, මෙරටට පැමිණි පළමු ගල් අඟුරු නැව ගොඩබාන අවස්ථාවේදී සිදුකළ පරීක්ෂණවලින් එහි ප්‍රමිතිය නියමිත මට්ටමට වඩා අඩු බව හෙළිවී තිබේ. 

ඉන්දියානු ආයතනයක් මගින් ලබාදුන් මෙම වාර්තාවල පරස්පරතාවය හේතුවෙන් වහාම නීතිමය ක්‍රියාමාර්ග ගත් බවත්, සිදුවූ අලාභය මෙන් දෙගුණයකටත් වඩා වැඩි දඩ මුදලක් අය කර ගැනීමට කටයුතු කළ බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. 

ඒ අනුව, මෙම ක්‍රියාවලිය හරහා රජයට කිසිදු මූල්‍යමය පාඩුවක් සිදුවී නොමැති බව ඔහු තහවුරු කළේය.

ප්‍රමිති වාර්තාවල සිදුවූ මෙම වෙනස්කම් පිළිබඳව බලශක්ති අමාත්‍යාංශය තුළ දැනටමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. 

එහිදී යම් නිලධාරියෙකු හෝ වෙනත් කණ්ඩායමක් වංචනික ලෙස වාර්තා වෙනස් කිරීමට මැදිහත් වී ඇති බවට තහවුරු වුවහොත්, ඔවුන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව හෙතෙම පැවසීය. 

මෙය කිසිදු ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සහිත ටෙන්ඩර් මගඩියක් නොවන බවත්, පවතින නීතිමය රාමුව තුළ උපරිම විනිවිදභාවයෙන් කටයුතු කර ඇති බවත් අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: